ලූක් 22:24-34

ලූක් 22:24-34 SCV

තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නා ම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි. මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි. මගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි. ඒ, මගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය. “සීමොන්, සීමොන්, ඔන්න! ධාන්‍ය පොළන්නාක් මෙන් නුඹලා පොළන්නට සාතන් ඉල්ලුවා. එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක. පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක.