ලූක් 22:21-30

ලූක් 22:21-30 SCV

එහෙත් මෙන්න! මා පාවා දෙන්නාගේ අත මා සමඟ මේ මේසයේ ම. මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක. එය කරන්නට යන්නේ තමන් අතරින් කවුරුන්දෝයි ඔවුන් එකිනෙකා ප්‍රශ්න කරන්නට වන්හ. තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නා ම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි. මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි. මගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි. ඒ, මගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය.