ලූක් 22:13-30

ලූක් 22:13-30 SCV

ඔවුහු පිටත් ව, යේසුස්වහන්සේ දැන් වූ ලෙසින් ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය. පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයෙන් ම ආශා වූයෙමි. මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක. උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක. එලෙස ම භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි. එහෙත් මෙන්න! මා පාවා දෙන්නාගේ අත මා සමඟ මේ මේසයේ ම. මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක. එය කරන්නට යන්නේ තමන් අතරින් කවුරුන්දෝයි ඔවුන් එකිනෙකා ප්‍රශ්න කරන්නට වන්හ. තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නා ම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි. මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි. මගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි. ඒ, මගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය.