පාස්කුව යනුවෙන් හැඳින්වෙන නුමුහුන් රොටි උළෙල ළං වෙමින් තිබිණි. නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ. ඒ අතර ඉස්කාරියොත් නම් වූ යූදස්ට සාතන් ආවේශ විය. ඔහු දොළොස් දෙනාගෙන් කෙනෙකි. ඔහු පිටත් ව, නායක පූජකවරුන් හා නිලධාරීන් අතට උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේදැයි ඔවුන් සමඟ සාකච්ඡා කළේ ය. මහත් සතුටට පත් ඔවුහු, ඔහුට මුදල් දීමට එකඟ වූහ. ඔහු ඊට කැමති ව, ජනයා නො ගැවසෙන විටෙක ඔවුන් අතට උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
පාස්කු බැටළුවා පූජා කළ යුතු වූ නුමුහුන් රොටි උළෙලේ දිනය උදා විය. යේසුස්වහන්සේ පේතෘස් හා යොහන් පිටත් කර යවමින්, “අපත් එය අනුභව කරන පිණිස, ගොසින්, අප උදෙසා පාස්කුව පිළියෙල කරන්නැ” යි කී සේක.
එවිට ඔවුහු, “ඔබට උවමනා අප එය කොතැන පිළියෙල කරනවාට දැ?” යි ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔන්න, නගරයට ඔබ ඇතුළු වූ කල, වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසු පස ගොස්, ඔහු යන ගෙදරට ඇතුල් ව, ගෙහිමියාට කතා කොට, ‘මගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි ආගන්තුක ශාලාව කොතැන ද කියා ගුරුතුමා ඔබෙන් අසති’ යි කියන්න. එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක.
ඔවුහු පිටත් ව, යේසුස්වහන්සේ දැන් වූ ලෙසින් ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.
පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයෙන් ම ආශා වූයෙමි. මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක.
උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක.
එලෙස ම භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.