ලූක් 21:25-33

ලූක් 21:25-33 SCV

“හිරු, සඳු හා තාරකා තුළ ලකුණු දිස් වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත. බයින් හා ලෝකයට පහත් වෙතැයි කියන දෑ නිසා මිනිසුන්ගේ සිත් භීතියෙන් ක්ලාන්ත වනු ඇත; මන්ද අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත. එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුක්ත ව වලාකුළක එනු ඔවුන් දකිනු ඇත. මේවා සිදු වන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “බලන්න, අත්තික්කා ගස දිහා; අනෙක් සියලු ගස් දිහාත්. ඒවා දළු ලන අයුරු ඔබට දකින්නට පුළුවන්; එවිට ගිම්හාන කාලය ළඟා වී ඇති බැව්, ඔබ දන්නවා. එලෙස ම, මේ දේවල් සිදු වනු දකින කල දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං වී ඇති බව ඔබ දැනගනී. “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. අහසත්, පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත.