ලූක් 21:20-38

ලූක් 21:20-38 SCV

“හමුදා, යෙරුසලම වටලා සිටිනු දකින කල, එය පාළුවට යෑම ළං වී ඇති වග දැනගන්න. එවිට යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! පුරවරය තුළ සිටින්නෝ ඉන් පිටතට යත්වා! ගම්බදව සිටින්නෝ නගරයට ඇතුළු නො වෙත්වා! මන්ද ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස, ඒවා පළිගැනීමේ දවස් ය. ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. මන්ද දේශය පිට මහත් ව්‍යසනයක් ද මේ ජනයාට එරෙහිව උදහස ද එනු ඇත. ඔවුන් කඩුවට ගොදුරු ව වැටෙනු ඇත; සියලු ජාතීන් අතරට සිරකරුවන් මෙන් ගෙන යනු ලබනු ඇත. අන්‍ය-ජාතීන්ගේ කාල වකවානු සම්පූර්ණ වන තෙක්, අන්‍ය-ජාතීන් යෙරුසලම පයින් පාගා දමනු ඇත. “හිරු, සඳු හා තාරකා තුළ ලකුණු දිස් වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත. බයින් හා ලෝකයට පහත් වෙතැයි කියන දෑ නිසා මිනිසුන්ගේ සිත් භීතියෙන් ක්ලාන්ත වනු ඇත; මන්ද අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත. එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුක්ත ව වලාකුළක එනු ඔවුන් දකිනු ඇත. මේවා සිදු වන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “බලන්න, අත්තික්කා ගස දිහා; අනෙක් සියලු ගස් දිහාත්. ඒවා දළු ලන අයුරු ඔබට දකින්නට පුළුවන්; එවිට ගිම්හාන කාලය ළඟා වී ඇති බැව්, ඔබ දන්නවා. එලෙස ම, මේ දේවල් සිදු වනු දකින කල දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං වී ඇති බව ඔබ දැනගනී. “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. අහසත්, පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත. “පරෙස්සම් වන්න! නැතහොත් දුරාචාරයෙන්, බේබදුකමෙන් හා ජීවිතයේ කනස්සලුවලින් ඔබේ හදවත් බර වී, ඒ දවස උගුලක් සේ හදිසියේ ම ඔබ පිට නො එන ලෙසට වග බලා ගන්න. මන්ද මුළු පොළෝ තලයේ වෙසෙන සියල්ලන් පිටට එය පැමිණෙනු ඇත. සිදු වන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක. දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන් වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත් ව ගිය සේක. අරුණ උදයේ මුළු මහත් ජනයා උන්වහන්සේට සවන් දීමට උන්වහන්සේ වෙත දේව මාලිගයට ආහ.