එබැවින් ඔවුහු විපරමින් සිට, අවංකයින් සේ පෙන්නුම් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ වෙත යැවූහ. එසේ කළේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර, ආණ්ඩුකාරයාගේ බලාධිකාරියට ද ආධිපත්‍යයට ද උන්වහන්සේ බාර දෙන අදහසින් ය. මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන වගත් අප දන්නවා. සීසර්ට බදු ගෙවීම අපට නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.
එහෙත් ඔවුන්ගේ ප්‍රයෝගකාරීත්වය වටහා ගත් උන්වහන්සේ, “මට ඩිනාරියක කාසියක් පෙන්වන්න; මෙහි ඇති රූපයත්, කොටා ඇති සටහනත් කාගේ දැ?” යි ඇසූ සේක.
“සීසර්ගේ යැ” යි ඔවුහු කීහ.
එවිට උන්වහන්සේ, “එසේ නම්, සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට පැවසූ සේක.
ජනයා ඉදිරියේ කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට අපොහොසත් වූ ඔවුහු උන්වහන්සේගේ පිළිතුරෙන් මවිත ව, නිහඬ වූහ.
මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කර ගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි. ඉදින් සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කර ගෙන දරු පල නො ලැබ මිය ගියා. පසුව දෙවැන්නාත්, ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනා ම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබ ම මිය ගියා. අවසානයේදී ඒ ස්ත්‍රිය ද මිය ගියා. මෙසේ, ඇය මේ හත්දෙනාගේ ම භාර්යාව වූ බැවින්, මරණින් නැවත නැගිටීමේදී මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ යුගයේ පුත්‍රයෝ ආවාහ කර ගනිති; විවාහ කරදෙති. එහෙත් එම යුගය අත්කර ගැනීමට හා මළවුන්ගෙන් නැවත නැගිටීමට සුදුස්සන් යැයි ගණන් ගනු ලබන්නන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඉන්පසු මියෙන්නට ඔවුන්ට නුපුළුවන; මන්ද ඔවුහු දේව දූතයින්ට සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයින් වීමෙන්, ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් වෙති. දැවෙන පඳුර පිළිබඳ කොටසෙහි, මළවුන් නැවත නැගිටුවනු ලබන වග මෝසෙස් පවා පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ ස්වාමින්වහන්සේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය’ යනුවෙනි. උන්වහන්සේ මළවුන්ගේ නො ව ජීවතුන්ගේ දෙවියන්වහන්සේ ය. මන්ද උන්වහන්සේට සියල්ලන් ම ජීවතුන් වන බැවිනි” යි පැවසූ සේක.
එවිට දහම් පඬිවර ඇතමෙක්, “අගේ ඇති කියමන ගුරුතුමනි” යි කීහ. තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වී ය.