ලූක් 20:1-19

ලූක් 20:1-19 SCV

දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ, උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්; මට කියන්න, යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැති නම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක. ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි අප කීවොත්, ‘ඔබ යොහන් විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි; ‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ. එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ ජනයාට මෙම උපමා කතාව කියන්නට වන් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට බදු දී, දිගු කලකට පිට රටකට ගියේ ය. නිසි කල පැමිණි විට, මිදි වත්තේ පලවලින් කොටසක් ඔවුන් තමාට ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත සේවකයකු යැවී ය. එහෙත් බදුකරුවෝ ඔහුට තළා, හිස් අතින් ම ආපසු හැරියහ. එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගත ව සලකා, හිස් අතින් ම පලවා හැරියහ. ඔහු යළි තුන්වැන්නකු යැවී ය. ඔවුහු ඔහුට තුවාල කොට, ඔහු පිටතට පලවා හැරියහ. “එවිට මිදි වතු හිමියා, ‘කුමක් ද මා කරන්නේ? මම මගේ ප්‍රේමණීය පුත්‍රයා යවමි. ඇතැම් විට ඔවුන් ඔහුට ගරු කරනු ඇතැ’ යි කීවේ ය. “එහෙත් බදුකරුවෝ ඔහු දුටු කල, තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා, මොහු අල්ලා මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ. මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ. “දැන්, මිදි වතු හිමියා ඔවුනට කුමක් කරනු ඇද්ද? ඔහු ඇවිත් මේ බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇතැ” යි පැවසූ සේක. ඒ ඇසූ ජනයා, “නෑ; එසේ නො වේවා!” යි පැවසූහ. එක එල්ලේ ම ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “එසේ නම්, මෙසේ ලියා ඇත්තේ කුමක් ද: “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් කරනු ලැබී ය.’ ඒ ගල පිට වැටෙන කවුරු නමුත් කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු මත වැටේ ද එයින් ඔහු සුනු විසුනු කරනු ලැබේ යැ” යි පැවසූ සේක. එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් දහම් පඬිවරු හා නායක පූජකවරු ඒ අවස්ථාවේ ම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ඔවුහු ජනතාවට බය වූහ.