ලූක් 2

2
යේසුස්වහන්සේගේ උපත
1එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය. 2කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටියදී පැවැත් වූ පළමු සංගණනය මෙයයි. 3සියල්ලෝ ලියාපදිංචි වන්නට තම ගම් පළාත් බලා ගියහ.
4යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත් ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ, 5තමා හා විවාහ ගිවිසි, ගැබ්බර ව හුන් මරියා ද සමඟින් ලියාපදිංචි වන්නට ය. 6ඔවුන් එහි සිටියදී ඇයට දරු උපතේ කාලය එළැඹිණි. 7ඈ තම කුලුඳුලා වූ පුතකු බිහි කර රෙදිවලින් ඔතා, ගව ඔරුවක තැබුවා ය. මන්ද ආගන්තුක නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.
8එපෙදෙසේ එඬේරු රැයේ තම බැටළු රංචු බලා ගනිමින්, අසල එළිමහනේ සිටියහ. 9ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඔවුන්ට පෙනෙන්නට ආවේ ය; ස්වාමින්වහන්සේගේ තේජස ඔවුන් හාත්පස බබළන්නට විය; ඔවුහු බියෙන් ඇලළී ගියහ. 10දේව දූතයා ඔවුන්ට කතා කොට, “බය නො වන්න; මෙන්න, මුළු මහත් ජනයාට ඉමහත් ප්‍රිය ජනක සුබ ආරංචියක් මම ඔබට ගෙනෙමි. 11මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක. 12රෙදිවලින් ඔතා, ගව ඔරුවක බාවා සිටින බිළිඳකු ඔබට හමු වනු ඇත; එය ඔබට ලකුණකි” යි පැවසී ය.
13ඒ ඇසිල්ලේ ම ඒ දේව දූතයා හා එක් වූ අති මහත් ස්වර්ගීය සේනාවක් දෙවියන්වහන්සේ පසසමින් මෙසේ ගැයූහ.
14“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය,
උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”
15දේව දූතයින් ඔවුන්ගෙන් වෙන් ව, ස්වර්ගයට ගිය පසු, ඔවුනොවුන් ඇමතූ එඬේරු, “යමු; බෙත්ලෙහෙමට ගොස්, ස්වාමින්වහන්සේ අපට දැනගන්නට සැලසූ, සිදු වී ඇති ඒ අසිරිය බලමු” යි කියා,
16යුහු ව ගොස්, මරියා හා යෝසෙප් ද ගව ඔරුවේ හුන් බිළිඳා ද දුටුවෝ ය. 17ළදරුවා දුටු කල ඔවුහු දරුවා ගැන තමනට දන්වන ලද දෑ පතළ කළහ. 18ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් කී දෑ පිළිබඳ මවිත වූහ. 19එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය. 20එඬේරුන් ආපසු ගියේ, තමන්ට දන්වන ලද ලෙස තමන් ඇසූ දුටු හැම දේ ගැන දෙවියන්වහන්සේට මහිමය දෙමින් හා ප්‍රශංසා කරමිනි.
21උන්වහන්සේගේ චර්ම-ඡේදනය සඳහා අ‍ට දවස පිරුණු කල, එතුමාණන් පිළිසිඳ ගැන්මට පෙර, දේව දූතයා විසින් දෙන ලද නාමය වන යේසුස් යන නම එතුමාණන්ට තබන ලදී.
සිමියොන් හා ආනා
22මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ, 23“හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ#2:23 නික්ම 13:2,12” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිදි හා 24ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු”#2:24 ලෙවී 12;8 යාග කර පූජා කිරීමට ය.
25ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩ සිටි සේක. 26ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළි කර තිබිණි. 27ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීමෙන්, ඔහු දේව මාලිගයට ආවේ ය. ව්‍යවස්ථාවේ චාරිත්‍රානුකූල වතාවත් සඳහා, මව් පියන් යේසුස් දරුවා ගෙන ආ කල, 28එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය:
29“ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස,
ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක;
30මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය.
31සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ,
32අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි;
ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”
33දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ. 34ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියම ව සිටින්නේ, 35බොහෝ දෙනකුගේ යටි සිතුවිලි එළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතෙකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය.
36තවද ආෂෙර් පෙළපතට අයත් පානුවෙල්ගේ දුවක වන ආනා නම් දිවැසිවරියක් වූවා ය. ඈ සිටියේ ඉතා වියපත් ව ය, විවාහ වී හත් වසරක් තම ස්වාමිපුරුෂයා හා විසූ ඈ, 37ඉන්පසු අසූහතර වසරක් ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඈ දේව මාලිගයෙන් බැහැර ව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය. 38ඈ ද ඒ පැයේදී ම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.
39ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ, වත් පිළිවෙත් පැවැත් වූ ඔවුහු තමන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ. 40දරුවා වැඩී, ශක්තිමත් ව, ප්‍රඥාවෙන් පූර්ණ වූයේ ය; දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද ඔහු පිට විය.
දේව මාලිගාවේ පඬිවරුන් මැද
41එතුමාණන්ගේ මව් පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ. 42එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. 43උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත. 44එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්, 45හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ. 46තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය. 47එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ. 48එතුමාණන් දුටු කල මව් පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය.
49උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ කුමට ද? මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ මා සිටිය යුතු වග ඔබ දැන සිටියේ නැද්දැ?” යි ඇසූ සේක. 50එහෙත් උන්වහන්සේ ඔවුන්ට කතා කරමින් කී දේ ඔවුන්ට වැටහුනේ නැත.
51ඉන්පසු ඔවුන් සමඟ නාසරෙත් වෙත ගිය උන්වහන්සේ ඔවුන්ට කීකරු ව විසූ සේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල තම සිත්හි ධාරණය කර ගත්තා ය. 52යේසුස්වහන්සේ ප්‍රඥාවෙන්, උස මහතින් හා දෙවියන්වහන්සේගේ මෙන් ම මිනිසුන්ගේ ප්‍රසාදයෙන් ද වැඩුණු සේක.

දැනට තෝරාගෙන ඇත:

ලූක් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න