මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ, “හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිදි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු” යාග කර පූජා කිරීමට ය.
ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩ සිටි සේක. ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළි කර තිබිණි. ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීමෙන්, ඔහු දේව මාලිගයට ආවේ ය. ව්‍යවස්ථාවේ චාරිත්‍රානුකූල වතාවත් සඳහා, මව් පියන් යේසුස් දරුවා ගෙන ආ කල, එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය:
“ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස,
ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක;
මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය.
සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ,
අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි;
ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”
දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ. ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියම ව සිටින්නේ, බොහෝ දෙනකුගේ යටි සිතුවිලි එළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතෙකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය.
තවද ආෂෙර් පෙළපතට අයත් පානුවෙල්ගේ දුවක වන ආනා නම් දිවැසිවරියක් වූවා ය. ඈ සිටියේ ඉතා වියපත් ව ය, විවාහ වී හත් වසරක් තම ස්වාමිපුරුෂයා හා විසූ ඈ, ඉන්පසු අසූහතර වසරක් ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඈ දේව මාලිගයෙන් බැහැර ව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය. ඈ ද ඒ පැයේදී ම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ, වත් පිළිවෙත් පැවැත් වූ ඔවුහු තමන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ. දරුවා වැඩී, ශක්තිමත් ව, ප්‍රඥාවෙන් පූර්ණ වූයේ ය; දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද ඔහු පිට විය.
එතුමාණන්ගේ මව් පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ. එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත. එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්, හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ. තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය. එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ. එතුමාණන් දුටු කල මව් පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ කුමට ද? මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ මා සිටිය යුතු වග ඔබ දැන සිටියේ නැද්දැ?” යි ඇසූ සේක. එහෙත් උන්වහන්සේ ඔවුන්ට කතා කරමින් කී දේ ඔවුන්ට වැටහුනේ නැත.
ඉන්පසු ඔවුන් සමඟ නාසරෙත් වෙත ගිය උන්වහන්සේ ඔවුන්ට කීකරු ව විසූ සේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල තම සිත්හි ධාරණය කර ගත්තා ය. යේසුස්වහන්සේ ප්‍රඥාවෙන්, උස මහතින් හා දෙවියන්වහන්සේගේ මෙන් ම මිනිසුන්ගේ ප්‍රසාදයෙන් ද වැඩුණු සේක.