ලූක් 2:21-38
ලූක් 2:21-38 SCV
උන්වහන්සේගේ චර්ම-ඡේදනය සඳහා අට දවස පිරුණු කල, එතුමාණන් පිළිසිඳ ගැන්මට පෙර, දේව දූතයා විසින් දෙන ලද නාමය වන යේසුස් යන නම එතුමාණන්ට තබන ලදී. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ, “හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිදි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු” යාග කර පූජා කිරීමට ය. ඉශ්රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩ සිටි සේක. ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළි කර තිබිණි. ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීමෙන්, ඔහු දේව මාලිගයට ආවේ ය. ව්‍යවස්ථාවේ චාරිත්‍රානුකූල වතාවත් සඳහා, මව් පියන් යේසුස් දරුවා ගෙන ආ කල, එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය: “ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස, ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක; මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය. සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ, අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්රායෙල් ජනයාට තේජසකි.” දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ. ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියම ව සිටින්නේ, බොහෝ දෙනකුගේ යටි සිතුවිලි එළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතෙකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය. තවද ආෂෙර් පෙළපතට අයත් පානුවෙල්ගේ දුවක වන ආනා නම් දිවැසිවරියක් වූවා ය. ඈ සිටියේ ඉතා වියපත් ව ය, විවාහ වී හත් වසරක් තම ස්වාමිපුරුෂයා හා විසූ ඈ, ඉන්පසු අසූහතර වසරක් ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඈ දේව මාලිගයෙන් බැහැර ව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය. ඈ ද ඒ පැයේදී ම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.


