ලූක් 2:1-24

ලූක් 2:1-24 SCV

එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය. කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටියදී පැවැත් වූ පළමු සංගණනය මෙයයි. සියල්ලෝ ලියාපදිංචි වන්නට තම ගම් පළාත් බලා ගියහ. යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත් ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ, තමා හා විවාහ ගිවිසි, ගැබ්බර ව හුන් මරියා ද සමඟින් ලියාපදිංචි වන්නට ය. ඔවුන් එහි සිටියදී ඇයට දරු උපතේ කාලය එළැඹිණි. ඈ තම කුලුඳුලා වූ පුතකු බිහි කර රෙදිවලින් ඔතා, ගව ඔරුවක තැබුවා ය. මන්ද ආගන්තුක නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ ලැබුණේ නැත. එපෙදෙසේ එඬේරු රැයේ තම බැටළු රංචු බලා ගනිමින්, අසල එළිමහනේ සිටියහ. ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඔවුන්ට පෙනෙන්නට ආවේ ය; ස්වාමින්වහන්සේගේ තේජස ඔවුන් හාත්පස බබළන්නට විය; ඔවුහු බියෙන් ඇලළී ගියහ. දේව දූතයා ඔවුන්ට කතා කොට, “බය නො වන්න; මෙන්න, මුළු මහත් ජනයාට ඉමහත් ප්‍රිය ජනක සුබ ආරංචියක් මම ඔබට ගෙනෙමි. මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක. රෙදිවලින් ඔතා, ගව ඔරුවක බාවා සිටින බිළිඳකු ඔබට හමු වනු ඇත; එය ඔබට ලකුණකි” යි පැවසී ය. ඒ ඇසිල්ලේ ම ඒ දේව දූතයා හා එක් වූ අති මහත් ස්වර්ගීය සේනාවක් දෙවියන්වහන්සේ පසසමින් මෙසේ ගැයූහ. “උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.” දේව දූතයින් ඔවුන්ගෙන් වෙන් ව, ස්වර්ගයට ගිය පසු, ඔවුනොවුන් ඇමතූ එඬේරු, “යමු; බෙත්ලෙහෙමට ගොස්, ස්වාමින්වහන්සේ අපට දැනගන්නට සැලසූ, සිදු වී ඇති ඒ අසිරිය බලමු” යි කියා, යුහු ව ගොස්, මරියා හා යෝසෙප් ද ගව ඔරුවේ හුන් බිළිඳා ද දුටුවෝ ය. ළදරුවා දුටු කල ඔවුහු දරුවා ගැන තමනට දන්වන ලද දෑ පතළ කළහ. ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් කී දෑ පිළිබඳ මවිත වූහ. එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය. එඬේරුන් ආපසු ගියේ, තමන්ට දන්වන ලද ලෙස තමන් ඇසූ දුටු හැම දේ ගැන දෙවියන්වහන්සේට මහිමය දෙමින් හා ප්‍රශංසා කරමිනි. උන්වහන්සේගේ චර්ම-ඡේදනය සඳහා අ‍ට දවස පිරුණු කල, එතුමාණන් පිළිසිඳ ගැන්මට පෙර, දේව දූතයා විසින් දෙන ලද නාමය වන යේසුස් යන නම එතුමාණන්ට තබන ලදී. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ, “හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිදි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු” යාග කර පූජා කිරීමට ය.

ලූක් 2 කියවන්න