ලූක් 19:13-26

ලූක් 19:13-26 SCV

ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය. “එහෙත් ඔහුගේ පුරවාසීහු ඔහුට ද්වේෂ කර, ‘මේ මිනිහා අපේ රජ වෙනවාට අප විරුද්ධ යැ’ යි දන්වමින් ඔහු ගිය පසු නියෝජිතයින් යැවූහ. “කෙසේ වුව ද රාජ්‍යය ලැබ ආපසු පැමිණි ඔහු, තමා මුදල් දුන් සේවකයින් වෙළඳාමෙන් කොපමණ උපයා ඇද්දැයි බලන පිණිස තමන් වෙත ඔවුන් කැඳවන්නට අණ කළේ ය. “පළමු වැන්නා පැමිණ, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තව වැඩිපුර මසු දහයක් උපයා ඇතැ’ යි කී ය. “එවිට ඔහු, ‘හරි අගෙයි, හොඳ සේවකය, ඉතා සුළු දෙයක් ගැන ඔබ විශ්වාසී වූ නිසා නගර දහයක ආධිපත්‍යය ඔබට වේ යැ’ යි කී ය. “දෙවැන්නා අවුත්, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තවත් මසු පහක් ඉපැයී යැ’ යි කී ය. “එවිට ඔහු, ‘නගර පහක ආධිපත්‍යය ඔබට වන්නේ යැ’ යි කී ය. “තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි. ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය. “හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට දාසය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේ ම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වපුළ දේ කපා ගන්නා, තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා? එසේ නම් මා ආපසු ආ කල පොලියත් සමඟ අය කර ගැනීමට, මගේ මුදල බැංකුවේ තැන්පත් නො කළේ ඇයි?’ දැයි ඇසුවා. “තමා ළඟ සිටියවුනට කතා කළ ඔහු, ‘මස්ස මොහුගෙන් ගෙන මසු දහය ඇත්තාට දෙන්නැ’ යි කීවා. “එවිට ඔවුන්, ‘ස්වාමිනි, ඔහුට මසු දහයක් ම ඇතැ!’ යි කීවා. “ඔහු පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.