ලූක් 19:11-44
ලූක් 19:11-44 SCV
ඔවුන් මේවා අසා සිටියදී, උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසුවේ උන්වහන්සේ යෙරුසලමට ළං වෙමින් සිටි නිසා හා දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහා පහළ වෙතැයි ජනයා සිතූ නිසා ය. එබැවින් උන්වහන්සේ කතා කරමින්, “එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාට රාජ පදවියක් ලබා ආපසු එන පිණිස ඈත රටකට ගියේ ය. ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය. “එහෙත් ඔහුගේ පුරවාසීහු ඔහුට ද්වේෂ කර, ‘මේ මිනිහා අපේ රජ වෙනවාට අප විරුද්ධ යැ’ යි දන්වමින් ඔහු ගිය පසු නියෝජිතයින් යැවූහ. “කෙසේ වුව ද රාජ්‍යය ලැබ ආපසු පැමිණි ඔහු, තමා මුදල් දුන් සේවකයින් වෙළඳාමෙන් කොපමණ උපයා ඇද්දැයි බලන පිණිස තමන් වෙත ඔවුන් කැඳවන්නට අණ කළේ ය. “පළමු වැන්නා පැමිණ, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තව වැඩිපුර මසු දහයක් උපයා ඇතැ’ යි කී ය. “එවිට ඔහු, ‘හරි අගෙයි, හොඳ සේවකය, ඉතා සුළු දෙයක් ගැන ඔබ විශ්වාසී වූ නිසා නගර දහයක ආධිපත්‍යය ඔබට වේ යැ’ යි කී ය. “දෙවැන්නා අවුත්, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තවත් මසු පහක් ඉපැයී යැ’ යි කී ය. “එවිට ඔහු, ‘නගර පහක ආධිපත්‍යය ඔබට වන්නේ යැ’ යි කී ය. “තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි. ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය. “හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට දාසය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේ ම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වපුළ දේ කපා ගන්නා, තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා? එසේ නම් මා ආපසු ආ කල පොලියත් සමඟ අය කර ගැනීමට, මගේ මුදල බැංකුවේ තැන්පත් නො කළේ ඇයි?’ දැයි ඇසුවා. “තමා ළඟ සිටියවුනට කතා කළ ඔහු, ‘මස්ස මොහුගෙන් ගෙන මසු දහය ඇත්තාට දෙන්නැ’ යි කීවා. “එවිට ඔවුන්, ‘ස්වාමිනි, ඔහුට මසු දහයක් ම ඇතැ!’ යි කීවා. “ඔහු පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. එහෙත්, මා තමන්ට රජකම් කරනවාට විරුද්ධ වූ මගේ සතුරන් මෙහි ගෙනවුත්, මා ඉදිරියේ මරා දමනු’ යි අණ කළා” යි පැවසූ සේක. මේ දෑ කී පසු, උන්වහන්සේ යෙරුසලම බලා ඉදිරියට ගිය සේක. උන්වහන්සේ ඔලීව යයි හැඳින් වූ කන්ද අසල, බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්, “ඉදිරියෙන් ඇති ගමට යන්න; ඊට ඇතුළු වූ විට, මින් ඉහත කිසිවකුත් නො නැගුණු බූරු වස්සකු බැඳ සිටිනු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න. ‘ඌ ලිහන්නේ මන්දැ?’ යි යමෙක් ඔබෙන් ඇසුවහොත්, ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය’ කියන්නැ” යි කී සේක. එසේ යවනු ලැබූවෝ පිටත් ව ගොස්, උන්වහන්සේ ඔවුන්ට පැවසූ ලෙස ම හමු වී, ඔවුන් ඌ ලිහද්දී, “ඔය බූරු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි උගේ අයිතිකරුවෝ ඇසූහ. ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේට ඌ වුවමනා වී ඇතැ” යි කීහ. යේසුස්වහන්සේ වෙත ඌ ගෙන ආ ඔවුහු, තමන්ගේ උඩු කබා ඌ පිට අතුරා, ඒ පිට යේසුස්වහන්සේ හිඳෙව්වෝ ය. උන්වහන්සේ ඌ පිට යද්දී, ඔවුහු තම උඩු කබා මග දිගට ඇතුරූහ. උන්වහන්සේ ඔලීව කඳු බෑවුමට ළඟා වූ කල, උන්වහන්සේගේ මුළු ගෝල සමූහයා, ප්‍රීති ප්‍රමෝද වන්නටත්, තමන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන උස් හඬින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නටත් වූයේ, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි. සමූහයා අතර සිටි ඇතැම් පරිසිවරු යේසුස්වහන්සේ අමතා, “ගුරුතුමනි, ඔබගේ ගෝලයින්ට තරවටු කරන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කියන්නම්; මොවුන් නිහඬ වුවහොත්, මේ ගල් හඬ නගාවි” යි පැවසූහ. උන්වහන්සේ යෙරුසලම වෙත ළඟා වී, නගරය දුටු කල, එය ගැන වැලපෙමින්, “අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ. නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින් ම නුඹ කොටු කරන දවස් නුඹ පිට පැමිණෙයි. ඔවුන් නුඹේ දරුවන් සමඟ නුඹ පොළොවේ ගසනු ඇත. තවද ඔවුන් නුඹ තුළ ගලක් පිට ගලක් තියන්නට හරින්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ නුඹලා බැහැදැක්මේ කාලය නුඹලා හැඳින ගත්තේ නැතැ” යි පැවසූ සේක.

