ලූක් 18:2-14

ලූක් 18:2-14 SCV

“දෙවියන්වහන්සේට භය නො වූ, මිනිසුන් ගැන නො තැකූ විනිශ්චයකරුවෙක් පුරවරයක සිටියා. එපුරයේ ම විසූ වැන්දඹුවක් නිතර ඔහු වෙත අවුත්, ‘අනේ මගේ එදිරිකරුවාට විරුද්ධ ව මට යුක්තිය ඉටු කර දෙන්නැ’ යි කීවා. “කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්, මේ වැන්දඹුව දිගට ම මට කරදර කරන නිසා, ඇය නො නැවතී ඇවිත් මා වෙහෙසීම නවතන පිණිස, ඇයට යුක්තිය ඉෂ්ට කර දෙනවා යැ’ යි කියා ගත්තා.” ස්වාමින්වහන්සේ කතා කරමින්, “මේ අධාර්මික විනිශ්චයකරු කියන දේට සවන් දෙන්න. රෑ දහවල් උන්වහන්සේගෙන් අයදින, උන්වහන්සේ ම තෝරා ගත්තවුන්ට දෙවියන්වහන්සේ යුක්තිය ඉටු කරන්නේ නැති ද? උන්වහන්සේ ඔවුන්ගේ අයැදුම් පමා කරන සේක් ද? මා ඔබට කියන්නේ, උන්වහන්සේ ඉක්මනින් ඔවුන්ට යුක්තිය ඉටු කරන බවයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය පුත්‍රයාණන් යළි පැමිණෙන කල, උන්වහන්සේට මිහි පිට ඇදහිල්ල සම්භ වේ දැ?” යි පැවසූ සේක. තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කරන පිණිස දේව මාලිගාවට ගියා. ඉන් කෙනෙක් පරිසිවරයෙක්. අනෙකා බදු අය කරන්නෙක්. පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ. මා සතියකට දෙවරක් උපවාසයේ යෙදෙනවා; මට ලැබෙන දෙයින් දසයෙන් කොටස ද දෙනවා’ යි කියා ගත්තා. “එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා. “මා ඔබට කියන්නේ ධර්මිෂ්ඨ කරනු ලැබ, තම නිවසට ගියේ මේ මිනිසායි; අනෙකා නො වෙයි. මන්ද තමා ම උසස් කර ගන්නා පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා උසස් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.