ලූක් 18:16-43
ලූක් 18:16-43 SCV
එහෙත් යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි. සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුඩා දරුවකු මෙන් පිළිගන්නේ නැති නම්, ඔහු කිසි සේත් ම එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක. එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ. ‘පරදාර සේවනයේ නො යෙදෙනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, පියාට හා මවට ගරු කරනු’ යන ආඥා ඔබ දනිතැ” යි පැවසූ සේක. ඔහු ඊට පිළිතුරු දෙමින්, “යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය. යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක් ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක. ඒ ඇසූ කල, ඒ මිනිසා දැඩි සොවට පත් විය. මන්ද ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද? ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක. එවිට ඒ ඇසූ අය, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ. “මිනිසුන්ට නො හැකි දේ දෙවියන්වහන්සේට හැකි යැ” යි උන්වහන්සේ කී සේක. එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය. ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා, ගේ-දොර හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ මාපියන් හෝ දරුවන් හෝ අත් හළ කවරෙක් වුව ද, මේ ජීවිතයේදී ඊට වඩා කීප ගුණයක් වැඩියෙන් ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද නො ලබා නො සිටින්නේ යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක් ම සම්පූර්ණ විය යුතුයි. උන්වහන්සේ විදේශීන් අතට පාවා දෙනු ලැබ, සරදම් කරනු ලැබ, ලජ්ජා සහගත ව සලකනු ලැබ, කෙළ ගසනු ලබයි; ඔවුන් උන්වහන්සේට කස පහර දී, මරා දමනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ නැවත නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඒ කී කිසිවක් ඔවුන්ට වැටහුනේ නැත. ඒ කියමන ඔවුන්ගෙන් සැඟවී තිබූ බැවින්, කියන ලද කිසිවක් ඔවුන්ට වැටහුනේ නැත. උන්වහන්සේ යෙරිකෝවට ළඟා වූ කල, අන්ධ මිනිහෙක් පාර අයිනේ හිඳ, සිඟමින් සිටියේ ය. තමන් පසු කර සමූහයක් යනු ඇසී, ඒ කුමක් දැයි ඔහු විමසී ය. “නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසු කර යති” යි ඔවුහු ඔහුට කීහ. එවිට ඔහු, “යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව” යි මොර ගැසී ය. පෙරටුවෙන් ගමන් කළෝ නිශ්ශබ්ද වන ලෙස ඔහුට තරවටු කළෝ ය. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනව” යි මොර ගැසී ය. යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණු වන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක. “ස්වාමිනි, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට යේසුස්වහන්සේ, “ඔබේ පෙනීම ලබන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි කී සේක. එකෙණෙහි ම ඇස් පෙනීම ලද ඔහු උන්වහන්සේ අනුව ගියේ දෙවියන්වහන්සේට මහිමය දෙමිනි. ඒ දුටු මුළු මහත් ජනයා ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.

