යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින් මෙසේ පැවසූ සේක: “එක් ධනවතකුට කළමනාකරුවෙක් සිටියා. තම වස්තුව, ඔහු නැති නාස්ති කරතැයි ඔහුට පැමිණිලි ලැබුණා. එබැවින් ඔහු කැඳවූ හාම්පුතා, ‘ඔබ ගැන මට අහන්න ලැබෙන මේ දේවල් මොනවා ද? ඔබේ කළමනාකාරකම පිළිබඳ ගණන් බේරන්න. තවදුරටත් කළමනාකරු වීමට ඔබට බැරි යැ’ යි කීවා.
“කළමනාකරු තමාට ම මෙසේ කියා ගත්තා, ‘මගේ හාම්පුතා කළමනාකාරකමින් මා පහ කරන නිසා, මා දැන් කුමක් කරන්න ද? පොළොව කොටන්නට මට ශක්තිය නෑ. සිඟාකන්නට ලැජ්ජයි. හරි! කළමනාකාරකමින් මා ඉවත් කළ පසු, මිනිසුන් තමන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, කළ යුතු දේ මා තීරණ කළා.’
“තම ස්වාමියාගේ ණයකරුවන් එකිනෙකා කැඳවූ ඔහු, පළමු වැන්නා අමතා, ‘මගේ හාම්පුතාට ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා.
“ ‘ඔලීව තෙල් පීප්ප සියයකැ’ යි ඔහු පිළිතුරු දුන්නේ ය.
“ඔහු ඇමතූ කළමනාකරු, ‘ඔබේ බිල්පත ගෙන, හනික මෙහෙන් ඉඳගෙන, එය පනහකැයි ලියා ගන්නැ’ යි කීවා.
“ඉන්පසු අනෙකා අමතා, ‘ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා.
“ ‘තිරිඟු බුසල් දාහක් යැ’ යි කී කල,
“ ‘ඔබේ බිල්පතේ එය අටසීය කර ගන්නැ’ යි ඔහු කීවා.
“වංචනික කළමනාකරු විචක්ෂණ ව, ශූර ලෙස ක්‍රියා කළ නිසා, හාම්පුතා ඔහුට ප්‍රශංසා කළා. මන්ද මේ ලෝකයේ පුත්‍රයින් තම කටයුතු ගැන ක්‍රියා කරන්නේ, ආලෝකයේ පුත්‍රයින්ට වඩා විචක්ෂණශීලිවයි. මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.
“ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි. අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වන්නේ නම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද? අන් කෙනකුගේ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වී නම්, ඔබගේ ම දෑ ඔබට දෙන්නේ කවුරු ද?
“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසි සේවකයකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.
මුදලට ආලය කරන්නන් වූ පරිසිවරු ඒ සියලු දෑ අසා, උන්වහන්සේට සරදම් කළහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන් ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.