ලූක් 15:4-24

ලූක් 15:4-24 SCV

“බැටළුවන් සියයක් සිටියදී, ඉන් එකකු නැති වුවහොත්, ඉතිරි අනූනව දෙනා එළිමහනේ හැර, නැති වූ එකා හමුවන තෙක් ඌ සොයා නො යන්නේ ඔබ අතරින් කවර මිනිහා ද? ඉදින් ඌ හමු වූ විට, ඔහු ප්‍රීතියෙන් ඉපිල, ඌ කර තබා, ගෙදර ගෙනවුත්, මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීති වන්න; මන්ද නැති වූ මගේ බැටළුවා සම්භ වුණා’ යි කියයි. එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන බව මම ඔබට කියමි. “නොහොත්, රිදී කාසි දහයක් ඇති ව සිටියදී ඉන් එකක් නැති වුවහොත්, පහනක් දල්වා, ගෙය අතු ගා, එය හමුවන තුරු හැම අස්සක, මුල්ලක එය නො සොයා ඉන්නේ කවර ස්ත්‍රිය ද? එය හමු වූ කල, ඈ ඇගේ මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීති වන්න; නැති වූ මගේ කාසිය සම්භ වුණා’ යි කියයි. එපරිදි ම, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන, දේව දූතයින් ඉදිරියේ ප්‍රීතියක් ඇති වග මම ඔබට කියමි” යි පැවසූ සේක. උන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “එක් මිනිසකුට පුතුන් දෙදෙනෙක් සිටියා. ඔවුන්ගෙන් බාලයා තම පියා අමතා, ‘පියාණෙනි, ඔබගේ දේපොළවලින් මට හිමි කොටස මට පවරා දෙන්නැ’ යි ඉල්ලා සිටියා. එවිට පියා ඔවුන් අතර තම දේපළ බෙදා දුන්නා. “නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කර ගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා. ඔහු තමන් සන්තක සියල්ල වියදම් කළ පසු, ඒ රට මුළුල්ලේ දැඩි සාගතයක් ඇති වුණා. ඔහුට ද අග හිඟ දැනෙන්නට වුණා. එබැවින් ඔහු එරට පුරවැසියකු ළඟ සේවකයකු ලෙස බැඳුණා. ඔහුගේ ගොවිපළේ ඌරන්ට කවන්නට ඔහු යවනු ලැබුවා. ඌරන් කන කරල්වලින් තම කුස පුරවාගන්නට ඔහු කැමති වුණා; කිසිවකු ඔහුට කිසිවක් ම දුන්නේ නෑ. “ඔහු හරි සිහි කල්පනාවට පැමිණ, ‘මගේ පියාගේ කුලී වැඩකරුවන් එපමණ දෙනකුට ඕනෑවටත් වඩා ආහාර තියෙද්දී, මා මෙහෙ හාමතේ නැහෙනවා. මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා. තවදුරටත් ඔබගේ පුත්‍රයා ය කියන්නට තරම් මා වටින්නේ නෑ; ඔබගේ කුලී වැඩකාරයකු ලෙස මා ගණන් ගන්නැයි ඔහුට කියනවායි කියා ගත්තා.’ එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා. “ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතු ව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා. “එවිට පුත්‍රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්‍රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා. “එහෙත් පියා තම සේවකයින්ට කතා කොට, ‘ඉක්මන් කර හොඳ ම කබාය ගෙනැවිත්, මොහුට හඳවන්න. මුදුවක් මොහුගේ ඇඟිල්ලේ දමන්න. පාවහන් දෙපයට දමන්න. පුෂ්ටිමත් හරකා ගෙනැවිත්, මරා, රස බොජුන් පිළියෙල කරන්න. අපි කාලා ප්‍රීති වෙමු. මන්ද මගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත් ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.