ලූක් 14:15-35

ලූක් 14:15-35 SCV

උන්වහන්සේ සමඟ මේසයට වාඩි වී සිටි කෙනෙක් ඒ අසා, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රොටි වළඳන තැනැත්තා ආශිර්වාද ලද්දෙකැ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “එක් මිනිහෙක් මහ ජයට භෝජන සංග්‍රහයක් පිළියෙල කර, බොහෝ දෙනකුට ඇරියුම් කළා. භෝජන වේලාව ළං වූ කල, ඇරියුම් කර තිබූ අය වෙත තම සේවකයා පිටත් කළ ඔහු, ‘එන්න, දැන් සියල්ල ලැහැස්තියි’ කියා යැව්වා. “එහෙත් ඔවුහු සැවොම නෑවිත් සිටීමට හේතු දක්වන්නට වුණා. පළමු වැන්නා කරුණු දක්වමින්, ‘මා මේ ඉඩම් කැබැල්ලක් ගත්තා විතරයි; එය බලන්නට යා යුතු ව තියෙනවා. එන්නට නො හැකිවීම ගැන හරි කණගාටුයි’ කීවා. “තව කෙනෙක්, ‘මා ගොන් බාන් පහක් ගෙනාවා. උන් හොඳින් වැඩ කරත් දැයි බලන්නටයි මේ ලැහැස්තිය. අනේ බොහොම කණගාටුයි; අද එන්න බැරි යැ’ යි කීවා. “තවත් කෙනෙක්, ‘මා භාර්යාවක් ආවාහ කර ගත්තා විතරයි; එනිසා එන්නට බැහැ’ යි කීවා. “සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා. “ඒ නියෝගය ඉටු කළ සේවකයා, ‘ස්වාමිනි ඔබ අණ කළ ලෙස කළා. එනමුත් තවත් ඉඩ තිබේ යැ’ යි කීවා. “එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා. මා ඔබට කියන්නේ, ඇරියුම් ලද්දවුන්ගෙන් කිසිවකු මගේ සංග්‍රහයේ රස නො විඳිනා බව යැ’ ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ සමඟ මහත් ජනකායක් ගමන් ගත්හ. ඔවුන් දෙස හැරුණු උන්වහන්සේ, “මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේ ම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මගේ ගෝලයකු වන්නට බැරි ය. තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය. “ඔබෙන් යමෙක්, කුලුනක් ගොඩ නගන්නට අදහස් කරන්නේ නම්, පළමු කොට පසෙකට වී හිඳ, වැඩය නිම කර ගැනීමට ඇති තරම් වේ දැයි ගණන් නො බලා සිටින්නේ කවුරු ද? එසේ නො කර, අත්තිවාරම දමා, එය තනා නිම කරන්නට නො හැකි වුවහොත්, එය දකින සැවොම ඔහුට අවමන් කරමින්, ‘මේ මිනිහා ගොඩ නගන්නට පටන් ගත්තා. ඒත් වැඩේ නිම කර ගන්න බැහැ’ යි කියනු ඇත. “වෙනත් රජකුට එරෙහිව යුද සූදානමක් ඇති කල, පළමු කොට පසෙකට වී හිඳ, විසිදහසක සතුරු හමුදාවට මුහුණ දීමට, දසදහසක තම හමුදාවට හැකිවේදැයි විමසා නො බලන්නේ කවර රජු ද? තමන් ඊට අසමත් නම්, සතුරු රජ දුර සිටියදී ම, රාජ දූතයින් පිටත් කර, සාම ගිවිසුමක් ඉල්ලනු ඇත. එසේ ම, තමන් සතු සියලු දේ අත්හරින්නේ නැති කවරකුටවත් මගේ ගෝලයකු වන්නට බැරි ය. “ලුණු වැඩදායක ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පසටවත්, පොහොරටවත් එයින් ඇති වැඩක් නැත. ඒවා ඉවත හෙළා දැමේ. “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.