එවිට පේතෘස් කතා කරමින්, “ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපට ද, නැති නම් හැමෝට ම දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති කළමනාකරු කවුරු ද? ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි. එහෙත් ඒ සේවකයා, ‘මගේ ස්වාමියා ඒමට පමා වේවි’ යි තමාට ම කියා ගනිමින්, සෙසු සේවක සේවිකාවන්ට පහර දීමටත්, කමින්-බොමින් මත් වීමටත් පටන් ගතහොත්, එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, දෙකට කපා, ඔහු අවිශ්වාසවූවන් අතරට ඇද දමනු ඇත.
“තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩි ව පහර කනු ඇත. එනමුත් නො දැන, එහෙත් පහර දෙනු ලැබීමට පාත්‍රවන දේ කරන්නා පහර ලබන්නේ සුළු වශයෙනි. යමකුට බොහෝ සේ දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් අය කරනු ලැබේ. එසේ ම යමකුට බොහෝ දේ භාර දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් ඉල්ලනු ලැබේ.
“මා ආවේ පොළොව මත ගිනි අවුළුවන්නට ය. දැනටමත් එය ඇවිළ තිබේ නම් මා කොපමණ කැමති ද! එහෙත් එක්තරා බව්තීස්මයකින් මට බව්තීස්ම ලබන්නට තිබේ. එය ඉටු වන තුරු මට ඇත්තේ කොතරම් සංවේගයක් ද! පොළොවේ සාමය සලසන්නට මා ආවා යයි ඔබ සිතනවා ද? එසේ නො වෙයි; මම ඔබට කියන්නම්; මා ආවේ භේද ඇති කරන්නයි. මන්ද මෙතැන් පටන් එක පවුලේ පස් දෙනකු අතරේ දෙදෙනකුට එරෙහිව තිදෙනකු ද තිදෙනකුට එරෙහිව දෙදෙනකු ද භේද කරනු ලැබේ. පුතාට එරෙහිව පියාත්, පියාට එරෙහිව පුතාත්, දුවට එරෙහිව මවත්, මවට එරෙහිව දුවත්, ලේලියට එරෙහිව නැන්දණියත්, නැන්දණියට එරෙහිව ලේලියත් යන වශයෙන් ඔවුහු භේද කරනු ලබති” යි පැවසූ සේක.
සමූහයා ඇමතූ උන්වහන්සේ, “බස්නාහිරින් වලාකුළක් නැගෙනු දකින විගස ‘වැස්සක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි. දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි. එම්බා වංචනිකයිනි, පොළොවේත්, අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට එසේ නම්, මේ වත්මන් කාලය ගැන අරුත් නො දක්වන්නේ ඇයි?
“හරි දේ කුමක් දැයි ඔබ ම තීන්දු නො කරන්නේ ඇයි? ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිර ගෙයි දමනු ඇත. මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක.