ලූක් 12:4-12
ලූක් 12:4-12 SCV
“මා මිතුරනි, මා ඔබට කියන්නේ, ශරීරය නසා දමන, ඊට පසු, වඩා වැඩි දෙයක් කළ නො හැකි අයට බය නො වන්න කියායි. එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුට දැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට භය වන්න. ඔව්, උන්වහන්සේට භය වන්න. තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනකු විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් දෙවියන්වහන්සේට අමතක නො වේ. සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී. “මම ඔබට කියන්නම්; මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකු ම, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී මනුෂ්‍ය පුත්‍රයා විසින් පිළිගනු ලබති. එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත්, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කෙරේ. මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන හැම කෙනකුට කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කවරකුටවත් කමා කරනු නො ලැබේ. “සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න. මන්ද ඔබ කිව යුත්තේ කුමක් දැයි ඒ පැයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියා දෙනු ඇතැ” යි පැවසූ සේක.

