ලූක් 12:22-40

ලූක් 12:22-40 SCV

උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි. මන්ද ජීවිතය, කෑමට වඩා වටිනා දෙයකි. ශරීරය, ඇඳුමට වඩා වටිනා දෙයකි. කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද! කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද? එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද? “මානෙල් වැඩෙනා හැටි සිතා බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නම්; සාලමොන් පවා ඔහුගේ රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැත. අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? එබැවින් කන්නේ මොනවා ද බොන්නේ මොනවාදැයි නො සොයන්න; ඒ ගැන කනස්සලු නො වන්න. මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට වුවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක. එනමුත් උන්වහන්සේගේ රාජ්‍යය ම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ. “කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි. ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත. මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැන ම ය. “ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න. විවාහ උත්සවයෙන් පසු, තම ස්වාමියා පෙරළා අවුත්, දොරට තට්ටු කළ සැණෙන් දොර අරින්නට බලා සිටින මිනිසුන් සේ සිටින්න. ස්වාමියා එන කල, තම සේවකයින් අවදිව සිටිනු ඔහු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නම්; එතුමා සේවා ඇඳුම් හැඳ, කෑමට ඔවුන් හිඳුවා ඔවුන්ට ආවතේව කරනු ඇත. ස්වාමියා දෙවන යාමයේ හෝ තුන්වැන්නේ අවුත්, ඔවුන් එලෙස සිටිනු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. එහෙත් සිහි තබා ගන්න. සොරා එන්නේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත. එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.