ලූක් 12:15-34

ලූක් 12:15-34 SCV

ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක. උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ. එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය. “ ‘හරි! මා කරන්නේ මෙයයි; මගේ අටු-කොටු කඩා, වඩා විශාල ඒවා ගොඩ නගා, මගේ ධාන්‍යයත්, බඩු භාණ්ඩත් එහි ගබඩා කරනවා. ඉන්පසු මම, මට ම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩ ගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය. “එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රැයේ ම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩ ගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක. “දෙවියන්වහන්සේ හමුවේ පොහොසත් නො වී, තමන් උදෙසා වස්තුව රැස් කරන අය ඒ ආකාර වෙතැ” යි පැවසූ සේක. උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි. මන්ද ජීවිතය, කෑමට වඩා වටිනා දෙයකි. ශරීරය, ඇඳුමට වඩා වටිනා දෙයකි. කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද! කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද? එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද? “මානෙල් වැඩෙනා හැටි සිතා බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නම්; සාලමොන් පවා ඔහුගේ රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැත. අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? එබැවින් කන්නේ මොනවා ද බොන්නේ මොනවාදැයි නො සොයන්න; ඒ ගැන කනස්සලු නො වන්න. මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට වුවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක. එනමුත් උන්වහන්සේගේ රාජ්‍යය ම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ. “කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි. ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත. මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැන ම ය.