ලූක් 12:13-20

ලූක් 12:13-20 SCV

සමූහයා අතරින් කෙනෙක් කතා කරමින්, “ගුරුතුමනි, මා සමඟ උරුමය බෙදා ගන්නා ලෙස මගේ සහෝදරයාට කියන්නැ” යි ඉල්ලී ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක. ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක. උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ. එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය. “ ‘හරි! මා කරන්නේ මෙයයි; මගේ අටු-කොටු කඩා, වඩා විශාල ඒවා ගොඩ නගා, මගේ ධාන්‍යයත්, බඩු භාණ්ඩත් එහි ගබඩා කරනවා. ඉන්පසු මම, මට ම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩ ගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය. “එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රැයේ ම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩ ගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.