ලූක් 11:33-54
ලූක් 11:33-54 SCV
“කිසිවකු පහනක් දල්වා, ඇතුළු වන අයට එළිය පෙනෙන පිණිස, පහන් රුකක් මත තබනවා මිස, කිසියම් මුල්ලක හෝ බඳුනක් යට හෝ තබන්නේ නැත. ඔබේ සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් එය නරක් වූ කල, ඔබේ සිරුරත් අඳුරින් පිරෙයි. එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නො වන ලෙසට වග බලා ගන්න. මෙසේ ඔබේ මුළු සිරුර ම ආලෝකයෙන් පිරී ඇත්නම්, කිසියම් කොටසක අඳුරක් නැත්නම්, බබළමින් එළිය විහිදන පහනක් සේ එය මුළුමනින් ආලෝකවත් වනු ඇත.” යේසුස්වහන්සේ කතා කරද්දී, පරිසිවරයෙක් තමා සමඟ ආහාර ගැනීමට උන්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ ගොස්, මේසයට වාඩි වූ සේක. කෑමට පෙර උන්වහන්සේ අත් නො සේදූ වග දුටු පරිසියා පුදුම වූයේ ය. එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙනුත්, දුෂ්ටකමිනුත් පිරිලා. අඥානයිනි, ඇතුල් පැත්ත සෑදුවෙත්, පිට පැත්ත සෑදූ තැනැත්තා ම නො වේ ද? එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේ ම ඔබට පවිත්‍ර වනු ඇත. “පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද ඔබ සුවඳතලා, සුදුදුරු හා ගෙවතු පලා යන දැයින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තියත්, දෙවියන්වහන්සේට ප්‍රේමයත් නො සලකා හරිති. ඔබ පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් පිළිපැදිය යුතු ව තිබේ. “පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත් ඔබ ආශා වන බැවිනි. “ඔබට වන විපතක මහත! මන්ද ඔබ නො පෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ ගැන නො දැන ජනයා ඒ උඩින් ඇවිද යති” යි පැවසූ සේක. එවිට දහම් නීතිවේදියෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, ඔය විදියට කතා කිරීමෙන් ඔබ අපටත් ගැරහුම් කරනවා” යි කීවේ ය. යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත. “ඔබට වන විපතක මහත! මන්ද ඔබගේ පියවරුන් විසින් මරා දමන ලද දිවැසිවරුන්ගේ සොහොන් කොත් ඔබ ගොඩ නගති. මෙයින් ඔබේ පියවරුන් කළ වැඩ ගැන සාක්ෂිකරුවන් හා ඊට එකඟවන්නන් වන්නේ ඔබයි; මන්ද ඔබේ පියවරු ඔවුන් මරා දැමූහ; ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩ නගති. එබැවින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙසේ පවසා තිබේ. ‘මම දිවැසිවරුන් ද අපෝස්තුලුවරුන් ද ඔවුන් වෙත යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් ඇතමකු මරා දමති; සෙසු අයට හිංසා කරති.’ එබැවින් ලෝකාරම්භයේ පටන් වගුරු වන ලද සියලු දිවැසිවරුන්ගේ ලේ ගැන, මෙම පරම්පරාව වගකිව යුතු වෙයි. එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි. “නීති විශාරදයිනි, ඔබට වන විපතක මහත! මන්ද දැනගැන්මේ යතුර ඔබ ගෙන ගිය නමුදු, දොර ඇර ඔබ ඇතුළු වූයේ නැත; අන්‍යයන්ට ඇතුළු වීමට ඉඩ දුන්නේත් නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ එතැනින් පිටත් වූ පසු, දහම් පඬිවරුන් හා පරිසිවරුන් උන්වහන්සේ ලවා බොහෝ දෑ කතා කරවීමට උන්වහන්සේ පෙලඹවීමට දැඩි සේ වෙර දැරුවේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට රැක සිටිමිනි.

