ලූක් 11:14-23

ලූක් 11:14-23 SCV

වරක් උන්වහන්සේ ගොළු යක්ෂාත්මයක් දුරු කරමින් සිටි සේක. යක්ෂාත්මය දුරු වෙත් ම ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. එවිට ජනයා විස්මිත වූහ. එහෙත් සමහරෙක්, “මොහු යක්ෂාත්ම දුරු කරන්නේ, යක්ෂාධිපති බෙල්සෙබුල් මාර්ගයෙනැ” යි කීහ. අන් සමහරු උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් දක්වන්නැයි ඉල්ලූහ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ඔවුන් අමතමින්, “කිසියම් රාජ්‍යයක්, එයට ම එරෙහිව බෙදුනහොත්, එය බිඳ වැටෙයි. පවුලක්, ඊට ම එරෙහිව බෙදුනහොත්, එය ඇද වැටෙයි. මෙසේ, සාතන් තමන්ට ම එරෙහිව බෙදුනහොත්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මන්ද මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මාර්ගයෙනැයි ඔබ කියති. මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මගින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ කවරකු මගින් ද? එබැවින්, ඔවුන් ම ඔබගේ විනිශ්චයකරුවන් ය. එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ඇඟිල්ල මගින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත. “ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි. එහෙත් ඔහුට වඩා බලවතෙක් පැමිණි කල, ඔහුට පහර දී යටත් කර, ඔහු විශ්වාසය තැබූ අවි-ආයුධ ද පැහැරගෙන, කොල්ලකා ගත් දේ බෙදා දෙයි. “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක් රැස් නො කරන්නා විසුරුවා හරියි.