ලූක් 1:26-45
ලූක් 1:26-45 SCV
සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය. දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය. ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඈ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය. දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා. ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය. උන්වහන්සේ උත්තම වන සේක්, මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක. උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය. එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවක ව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය. දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. මහෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ. බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිනියක්. මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය. මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත් ව ගියේ ය. එදවස්හි මරියා සූදානම් ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහු ව ගොස්, සෙකරියස්ගේ නිවසට ඇතුල් ව, එලිසබෙත්ට ආචාර කළා ය. මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්, උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි. එනමුත්, මගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද? බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය.


