ලූක් 1:24-56
ලූක් 1:24-56 SCV
මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්, “ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය. සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය. දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය. ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඈ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය. දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා. ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය. උන්වහන්සේ උත්තම වන සේක්, මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක. උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය. එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවක ව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය. දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. මහෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ. බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිනියක්. මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය. මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත් ව ගියේ ය. එදවස්හි මරියා සූදානම් ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහු ව ගොස්, සෙකරියස්ගේ නිවසට ඇතුල් ව, එලිසබෙත්ට ආචාර කළා ය. මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්, උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි. එනමුත්, මගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද? බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය. එවිට මරියා මෙසේ පැවසුවා ය: “මගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි; මගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මගේ ආත්මය ප්‍රීති වෙයි. මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක් ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත. මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය. උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට, උන්වහන්සේට භය ඇත්තන්ට ය. උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන් වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතුවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක. උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහ කර, නිහතමානීන් ඔසවා තැබූ සේක. උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්, උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්‍රායෙල්ට උපකාර කළේ, අප පියවරුනට, ආබ්‍රහම්ට හා සදහට ම ඔහුගෙන් පැවත එන්නන්ට, උන්වහන්සේ කතා කළ පරිද්දෙනි.” එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය.

