ලෙවී 4:1-12

ලෙවී 4:1-12 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියන්න: යමකු නො දැනුවත් ව පව් කරමින්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවල යමකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ක්‍රියා කළ යුත්තේ මෙසේ ය. “ ‘ආලේප ලත් පූජකයා ජනතාව පිට වරද පැවරෙන පරිදි පව් කරයි නම්, ඔහු තමා කළ පාපය උදෙසා පාප පූජාවක් වශයෙන් කැළැල් රහිත ගොන් වස්සකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. ඔහු හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව වෙත ස්වාමින්වහන්සේ ඉදිරියට ඌ ගෙන ආ යුතු ය. ඔහු උගේ හිස මත අත තබා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ඉන්පසු ආලේප ලත් පූජකයා, ගොන් වස්සාගේ ලේ ස්වල්පයක් ගෙන, හමුවීමේ කූඩාරම තුළට අවුත්, තම ඇඟිල්ල ලෙයේ බහා, ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමින්වහන්සේ ඉදිරියේ හත් වාරයක් ලේ ඉසිය යුතු ය. ඉන්පසු පූජකයා හමුවීමේ කූඩාරම තුළ ස්වාමින්වහන්සේ ඉදිරියේ ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ද ලේ ස්වල්පයක් තැවරිය යුතු ය. ගවයාගේ ඉතිරි ලේ, හමුවීම් කූඩාරම් දොරටුව අසල වූ දවන යාග පූජාසන පාමුල වත් කළ යුතු ය. ඉන්පසු ඔහු, පාප පූජාවේ ගවයාගේ අතුණු වැසී ඇති මේදය හා අතුණු මත ඇති මේදය ඇතුළු ව උගේ සියලු මේද කොටස් ඉවත් කර, වකුගඩු යුගල හා ඒ වටා තුනටිය ළඟ ඇති මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද ශාන්ති පූජා ගවයාගේ මේද කොටස් ඉවත් කෙරෙන පරිදි ම ඉවත් කළ යුතු ය. ඉන්පසු පූජකයා දවන යාග පූජාසනය මත ඒවා දවාලිය යුතු ය. එහෙත් ගවයාගේ හම ද මස් සියල්ල ද සමඟ උගේ හිස, කකුල්, අතුණු හා ගොම ද යන ගවයාගේ ඉතිරි කොටස් සියල්ල කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට එනම්, දවන පූජා අළු ඉවත දමන තැනකට ගෙන ගොස්, අළු ගොඩ මත දර දමා ඇවුළූ ගින්නෙහි දැවිය යුතු ය.

ලෙවී 4 කියවන්න