ලෙවී 26:1-13

ලෙවී 26:1-13 SCV

“ ‘ඔබේ දේශයේ ඔබට දේව රූප සාදා නො ගන්න; පිළිම හෝ පූජා ගල් කුලුනු හෝ සිටුවා නො ගන්න; වන්දනාව සඳහා නෙළූ ගල් රූප ද තබා නො ගන්න. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. “ ‘මගේ සබත් පවත්වමින්, මගේ ශුද්ධස්ථානයට ගෞරව දක්වන්න. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔබ, මගේ නියෝග අනුගමන කරමින්, මගේ ආඥාවලට කීකරු වීමට වග බලා ගතහොත්, මම නිසි කලට ඔබට වැසි වස්සන්නෙමි. එවිට මහ පොළොව එහි අස්වැන්න ද කෙත් වත්හි ගහ වැල ඒවායේ පලදාව ද උපද්ද වන්නේ ය. ඔබේ ගොයම් පෑගීම, මිදි අස්වනු කාලය දක්වා ද මිදි අස්වනු නෙළීම කුඹුරු වපුරන කාලය දක්වා ද දිගට ම පවතින්නේ ය. ඔබ රිසි සේ අහර ගනිමින්, ඔබේ දේශය තුළ සුරැකි ව වෙසෙනු ඇත. “ ‘ඔබේ දේශයට මම සාමය සලසන්නෙමි. බිය සැක නැතිව ඔබ නිදාගනු ඇත. රුදුරු සතුන් දේශයෙන් මම ඉවත් කරන්නෙමි. ඔබේ රට තුළ යුද අසිපත් ගැටෙනු නැත. ඔබ, ඔබගේ සතුරන් ලුහුබඳිනු ඇත. ඔබගේ අසිපත හමුවේ ඔවුන් ඇද වැටෙනු ඇත. ඔබගෙන් පස් දෙනෙක්, ඔවුන් සිය දෙනකු ද ඔබගෙන් සිය දෙනෙක් ඔවුන් දස දහසක් ද ලුහුබඳිති. ඔබේ සතුරන් ඔබ ඉදිරියේ ඔබගේ අසිපත් පහරින් ඇද වැටෙනු ඇත. “ ‘මම ඔබ වෙත ප්‍රසාදය පා, ඔබ සඵල කොට, ගණනින් ඔබ වැඩි කරන්නෙමි. මම ඔබ සමඟ මගේ ගිවිසුම ස්ථිර කරන්නෙමි. අලුත් අස්වනු රැස් කර තබනට ඉඩකඩ ලබා ගන්නට, එතෙක් ඔබ පරිභෝජනයට ගත් කලින් වසරේ පලදාව ඉවතලන්නට තරම් ඔබට සරුවනු ඇත. මම මගේ වාසස්ථානය ඔබ මධ්‍යයේ තබන්නෙමි; මම ඔබ පිළිකුල් නො කරන්නෙමි. මම ඔබ අතරේ ගැවසෙමින්, ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නහු ය. තවදුරටත් ඔබ ඊජිප්තුවරුන්ගේ වහලුන් නො වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ වියගහේ බැඳුම් බිඳ, හිස කෙළින් තබා ගමන් කරන්නට ඔබට සවිබල දුනිමි.