ලෙවී 24:1-9

ලෙවී 24:1-9 SCV

තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, ආලෝකය සඳහා පහන් නිතර ම දැල් වී තිබෙන ලෙසට ඔලීව කොටා, සිඳගත්, පිරිසිදු තෙල් ඔබ වෙත ගෙනෙන්නට ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. ආරොන් විසින් මෙම පහන්, හමුවීමේ කූඩාරමේ ගිවිසුම් කරඬු තිරයට පිටතින් ස්වාමින්වහන්සේ ඉදිරියේ සවස සිට උදය දක්වා එක දිගට ම දල්වා තැබිය යුතු ය. පරපුරින් පරපුරට මෙය සදාතනික නියෝගයකි. අමිශ්‍ර රන් පහන් රුක මත ඇති පහන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ නොකඩව දල්වා තිබිය යුතු ය. “සිහින් පිටි ගෙන, එකක් ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් බැගින් වූ රොටි දොළහක් පුලුස්සා ගන්න. එක ගොඩකට හය බැගින්, ඒවා අමිශ්‍ර රන් මේසය මත ස්වාමින්වහන්සේ අබියස ගොඩවල් දෙකකට තබන්න. තවද ස්වාමින්වහන්සේට ගින්නේ පිදෙන පූජාවක් සේ, එම කැවිලිවල සිහිවීමේ පංගුවක් වශයෙන් ඒ එක් එක් ගොඩ මත පිරිසිදු කට්ටකුමංජල් ස්වල්පයක් දමන්න. ඉශ්‍රායෙල් ජනයා උදෙසා සදාතනික ගිවිසුමක් වශයෙන් මෙම රොටි, සබතක්, සබතක් පාසා, නිති පතා ස්වාමින්වහන්සේ අබිමුවේ විධිමත් ව තැබිය යුතු ය. ඒවා හිමි ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් ය. ඔවුහු ඒවා ශුද්ධ තැනකදී අනුභව කළ යුත්තෝ ය. මන්ද, ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් ඔවුන්ගේ නිත්‍ය පංගුව වන එය අතිශුද්ධ බැවිනි.”