ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සමස්ත ඉශ්රායෙල් ජන සමාජයට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින් ඔබත් ශුද්ධ ව සිටින්න. “ ‘ඔබ හැම කෙනෙක් ම තම මවටත්, තම පියාටත් ගෞරව කළ යුතු ය. ඔබ මගේ සබත් පැවැත් විය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. “ ‘පිළිම රූප වෙත නො හැරෙන්න. ඔබට ලෝහ වාත්තු දෙවිවරුන් සාදා නො ගන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. “ ‘ස්වාමින්වහන්සේට ඔබ ශාන්ති පූජාවක් ඔප්පු කරන කල, එය ඔබ උදෙසා පිළිගැනෙනා පරිදි ඔප්පු කරන්න. එය පූජා කළ දවසේ හෝ ඊට පසු දා එය අනුභව කළ යුතු ය. තුන් වන දවස දක්වා ඉතිරි වන ඒවා දවා දැමිය යුතු ය. තුන් වන දවසේ එයින් අනුභව කළහොත් එය පිළිකුලකි. එම පූජාව ද නො පිළිගැනේ. යමෙක් එය අනුභව කළහොත්, ඔහු ස්වාමින්වහන්සේට කැප ශුද්ධ දෑ දූෂ්‍ය කළ බැවින්, එහි ආදීන ව ඔහු විඳිය යුතු ය. ස්වකීය ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. “ ‘ඔබගේ කෙත් වත්හි අස්වනු නෙළන කල, ඉඩමේ කෙළවර දක්වා ම නෙළීම නො කරන්න. වැටුණු, ඉතිරිවුණු කරල් ද එකතු නො කරන්න. අස්වනු නෙළූ පසු වැටී ඇති මිදි ඇහිඳින්නට මිදි වත්තට ආපසු නො යන්න. ඒවා දුගියනට හා විදෙස්සනට ගන්නට හරින්න. මම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. “ ‘සොරකම් නො කරන්න. “ ‘බොරු නො කියන්න. “ ‘එකිනෙකා නො රවටන්න. “ ‘මගේ නාමයෙන් බොරුවට නො දිවුරන්න. එසේ දිවිරීමෙන් ඔබේ දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසේ. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔබේ අසල්වැසියාට අයුක්තියක් නො කරන්න. ඔහුගෙන් පැහැර ගැනීම නො කරන්න. “ ‘කම්කරුවකුගේ කුලිය ගෙවීම පසු දා උදය වන තුරු පමා නො කරන්න. “ ‘බිහිරි අයට ශාප නො කරන්න. අන්ධ අය යන මගෙහි බාධක නො තබන්න. ඔබේ දෙවියන්වහන්සේට භය වන්න. මම ස්වාමින්වහන්සේ ය. “ ‘යුක්තිය නො පෙරළන්න; දුප්පතාට පක්ෂග්රාහීවීම හෝ බලවතාට විශේෂ සැලකිලි දැක්වීම හෝ නො කරන්න. ඔබේ අසල්වැසියා අතර විනිශ්චයේදී යුක්තිය පසිඳලන්න. “ ‘ඔබේ ජනයා අතරේ තැන තැන අපහාස කතා නො පතුරවන්න. “ ‘ඔබේ අසල්වැසියාගෙන් ජීවිතය උපද්‍රවයට පත් විය හැකි කිසිවක් නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔබේ සහෝදරයා ගැන වෛරයක් ඔබේ සිතේ තබා නො ගන්න. ඔබේ අසල්වැසියාට ඔහුගේ වරද ගැන සෘජු ව කතා කරන්න. එවිට වරදට ඔබ හවුල් නො වේ. “ ‘පළිගැනීමෙන් වළකින්න. එකිනෙකාට එරෙහිව වෛරයක් තබා නො ගන්න. ඔබට සේ ම ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
ලෙවී 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලෙවී 19:1-18
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ