“කුෂ්ඨ රෝගියකු සුවපත් ව, පූජකයා වෙත ඔහු ගෙනෙනු ලැබ, පවිත්‍ර වන දවසේ ඔහුට අදාළ නියමයන් මෙසේ ය. පූජකයා කඳවුරෙන් පිටතට ගොස්, ඔහු පිරික්සිය යුතු ය. එවිට, කුෂ්ඨ රෝගයෙන් ඔහු සුවය ලබා සිටී නම්, ඔහුගේ පවිත්‍ර වීම උදෙසා, පණ ඇති පවිත්‍ර පක්ෂීන් දෙදෙනකු ද දේවදාර ලීදඬු ද රතු නූල් සහ හිසොප් ඉත්තක් ද ගෙනෙන ලෙස පූජකයා නියෝග කළ යුතු ය. ඉන්පසු පූජකයා එම පක්ෂීන් දෙදෙනාගෙන් එකකු ගලා යන ජලයෙන් යුතු මැටි බඳුනකට ඉහළින් මරන්නට නියෝග කළ යුතු ය. ඉන්පසු ඔහු, පණ ඇති අනෙක් පක්ෂියා සමඟ දේවදාර ලී ද රතු නූල් ද හිසොප් ද ගෙන, ගලා යන ජලයට ඉහළින් මරනු ලැබූ පක්ෂියාගේ ලේවල ඒවා ගිල්වා, කුෂ්ඨ රෝගයෙන් පවිත්‍ර වීමට සිටින අයට ද ඒ ලේ හත් වරක් ඉසිය යුතු ය. ඉන්පසු ඔහු, පණ පිටින් සිටින පක්ෂියා එළිමහනෙහි මුදා හළ යුතු ය.
“පවිත්‍ර වීමට සිටින්නා, තමන් හැඳිවත් සෝදා, මුළු හිසකේ මුඩු කොට, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. කඳවුර තුළට ඔහුට ආ හැක්කේ ඉන්පසුව ය. එහෙත්, හත් දවසක් ගත වන තෙක් ඔහු තම කූඩාරමින් පිටත සිටිය යුතු ය. හත් වන දවසේ ඔහු තමාගේ රෝම සියල්ල හෙවත් තම හිසකේ ද රැවුල ද ඇහිබැම ද ගතෙහි රෝම ද බූ ගෑ යුතු ය. ඔහු තම ඇඳිවත් ද සෝදා, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ.
“අට වන දවසේ ඔහු, කැළැල් රහිත පිරිමි බැටළු පැටවුන් දෙදෙනකු ද කැළැල් රහිත එක් අවුරුදු ගැහැනු බැටළු පැටවියක ද ඒ සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දසයෙන් තුන් කොටසක් හා තෙල් හුණ්ඩුවක් ද ගෙන ආ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වග ප්‍රකාශ කරන පූජකයා, පවිත්‍ර වීම ලබන්නා ද ඔහුගේ පූජා ද හමුවීමේ කූඩාරම් දොරකඩදී ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු ය.
“පූජකයා බැටළු පැටවුන්ගෙන් එකකු ගෙන, වරද නිවාරණ පූජාවක් වශයෙන් තෙල් හුණ්ඩුවක් ද සමඟ ඌ ඔප්පු කළ යුතු ය. ඔහු ඒවා තේව කිරීමේ පූජාවක් වශයෙන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. ශුද්ධස්ථානයේ පාප පූජා සහ දවන යාග පූජා මරන තැනදී ඔහු එම බැටළු පැටවා මැරිය යුතු ය. පාප පූජාව සේ ම, වරද නිවාරණ පූජාවත් අයිති පූජකයාට ය. එය අතිශුද්ධ ය. පූජකයා, වරද නිවාරණ පූජාවේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර කරනු ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. ඉන්පසු පූජකයා තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් ගෙන, තමාගේ ම වම් අත්ලට වත් කොට, දකුණු අතේ දබරැඟිල්ල, වමත් අල්ලේ තෙලෙහි බහා, ස්වාමින්වහන්සේ අබියසට හත් වරක් ඇඟිල්ලෙන් තෙල් ඉසිය යුතු ය. ඉන්පසු පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද වූ වරද නිවාරණ ලේ පිට ඒවා ගෑ යුතු ය. පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල්, පවිත්‍ර වීම ලබන්නාගේ හිසේ ගෑ යුතු ය. මෙසේ පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා, ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසයි.
“ඉන්පසු පූජකයා, පවිත්‍ර වීම ලබන්නාගේ අපවිත්‍රතාවෙන්, ඔහු පවිත්‍ර කිරීමේ පාප වන්දි නිවාරණය සලසමින්, පාප පූජාව යාග කළ යුතු ය. ඉන් අනතුරුව පූජකයා, දවන යාග පූජා සතා මරා, ධාන්‍ය පූජාව සමඟ එය පූජාසනය මත ඔප්පු කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. එවිට ඔහු පවිත්‍ර වන්නේ ය.
“කෙසේ වෙතත්, ඔහු දුගියකු නිසා ඒ දෑ සැපයිය නො හැකි නම්, ඔහු, තමා උදෙසා පාප වන්දි නිවාරණය සැලසීමට, වරද නිවාරණ පූජාවක් වශයෙන් තේව කිරීම සඳහා එක් (පිරිමි) බැටළු පැටවකු ද සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද තෙල් හුණ්ඩුවක් ද තමාට සපයාගත හැකි පරිදි පරෙවියන් හෝ කොබෙයි පැටවුන් හෝ දෙදෙනකු ගෙනා යුතු ය. ඉන් එකකු පාප පූජාව සඳහා ය. අනෙකා දවන යාග පූජාව සඳහා ය.
“අට වන දවසේ ඔහු, තම පවිත්‍ර වීම සඳහා, ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම් දොරකඩට පූජකයා වෙත ඒවා ගෙන ආ යුතු ය. පූජකයා වරද නිවාරණ බැටළු පැටවා ගෙන, තෙල් හුණ්ඩුවක් ද සමඟ තේව කිරීමේ පූජාවක් වශයෙන් ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. පූජකයා, වරද නිවාරණ පූජාවේ බැටළු පැටවා මරා, උගේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. පූජකයා තෙල් ස්වල්පයක් තම වම් අත්ලට වත් කොට, තම දකුණු අතේ දබරැඟිල්ලෙන් ස්වාමින්වහන්සේ ඉදිරියට හත් වරක් තෙල් ඉසිය යුතු ය. ඉන්පසු ඔහු තම අත්ලේ ඇති තෙලින් ස්වල්පයක්, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද යන වශයෙන් වරද නිවාරණ පූජා ලේ ගෑ තැන්හි ගෑ යුතු ය. පූජකයා ඉන් අනතුරුව, පවිත්‍ර වීම ලබන්නා උදෙසා පාප වන්දි නිවාරණය සලසමින් තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ඔහුගේ හිසේ ගැල්විය යුතු ය. ඉන්පසු ඔහුට සැපයිය හැකි ව තිබූ ලෙස, පරෙවියන් හෝ කොබෙයි පැටවුන් පූජකයා විසින් යාග කළ යුතු ය. ඉන් එකකු පාප පූජාවක් වශයෙනි; අනෙකා ධාන්‍ය පූජාවක් සමඟ දවන යාග පූජාවක් වශයෙනි. මෙපරිදි පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසන්නේ ය.”
තම පවිත්‍ර වීම සඳහා නියමිත පූජා සපයාගත නො හැකි, කුෂ්ඨ රෝගයෙන් සුවය ලද්දවුන්ට අදාළ නියෝග ඒවා ය.