ලෙවී 11

11
පවිත්‍ර හා අපවිත්‍ර සතුන්
1 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනතාවට මෙසේ කියන්න: ‘ගොඩ බිම වෙසෙන සතුන් හැම අතරින් ඔබට අහරට ගත හැකි මේ සතුන් ය. 3කුරය බෙදී, වෙන් ව ඇති, වමාරා කන කවර සතකු වුව ඔබට අහරට ගත හැකි ය.
4“ ‘වමාරා කන නමුදු, කුර නො බෙදුණු සත්තු ද කුර බෙදී ඇති නමුදු වමාරා නො කන සත්තු ද වෙති. ඔබ උන් අහරට නො ගත යුතු ය. ඔටුවා වමාරා කන නමුදු, උගේ කුර බෙදී නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. 5පර්වත කූට හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. 6හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. 7ඌරාගේ කුරය බෙදී, වෙන් ව ඇති නමුදු, ඌ වමාරා කන්නේ නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. 8උන්ගේ මස ඔබ අහරට නො ගත යුතු ය; උන්ගේ මළකුණු ස්පර්ශ නො කළ යුතු ය. ඔබට උන් අපවිත්‍ර ය.
9“ ‘මුහුදේ ද ගං-ඇළ-දොළවල ද වෙසෙන සියලු ජලජ ජීවීන් අතරින් වරල් සහ කොරපොතු ඇති එවුන් ඔබට අහරට ගත හැකි ය. 10එහෙත්, මුහුදේ හෝ ගං-ඇළ-දොළවල හෝ සිටින සියලු ජලජ ජීවීන් අතර, එනම් දියෙහි පිහිනන හෝ දියෙහි වෙසෙන අන් සියලු ජලජ ජීවීන් අතර වරල් හා කොරපොතු නැති උන් ඔබ පිළිකුල් කළ යුතු ය. 11ඔබට උන් පිළිකුල් බැවින්, උන්ගේ මස අහරට නො ගත යුතු ය. උන්ගේ මළකුණු ද ඔබට පිළිකුලක් විය යුතු ය. 12වරල් හා කොරපොතු නැති කවර ජලජ ජීවියකු වුව ඔබට පිළිකුල් විය යුතු ය.
13“ ‘ඔබ පිළිකුල් කළ යුතු පක්ෂීන් මෙසේ ය; මුන් ඔබට පිළිකුල් බැවින් මින් එකකු හෝ අහරට නො ගත යුතු ය. රාජාලියා, ගිජු ලිහිණියා, මුහුදු උකුස්සා, 14උකුස්සා, හැම වර්ගයකට අයත් කුරුලුගොයි, 15කපුටු සෑම වර්ග, 16උකුසු බකමූණා, බස්සා, මුහුදු ලිහිණියා, නා නා විධ උකුස්සා, 17කුඩා බස්සා, දියකාවා, කෙටි කන්-බකමූණා, 18අටු වෙස්බස්සා, කාන්තාර බස්සා, මුහුදු රාජාලියා, 19මාන කොකා, නා නා විධ කොකුන්, පොරෝළුවා සහ වවුලා ඒ සතුන් ය.
20“ ‘සතර පයින් ඇවිදින, ඉගිළිය හැකි සියලු කෘමීන් ඔබ පිළිකුල් කළ යුතු ය. 21එසේ වුව ද සතර පයින් ඇවිදින, පියාපත් සහිත සතුන් අතර බිම පැන පැන යන, බැඳුණු කකුල් ඇති සත්තු ද වෙති. 22උන් අතරින් පළඟැටි වර්ග, පතංගයින්, රැහැයියන් හා පලා-ගිරවුන් ඔබට අහර සඳහා ගත හැක. 23එහෙත් සිවු පා ඇති, පියාපත් සහිත අන් සියලු සතුන් ඔබ පිළිකුල් කළ යුතු ය.
24“ ‘ඔබ අපවිත්‍ර වනු ඇත්තේ මෙපරිදි ය. එම සත්ව මළකුණක් ස්පර්ශ කරන කවරකු වුව ද, සවස දක්වා අපවිත්‍ර ව සිටියි. 25ඒ කවර සත්ව මළකුණක් ඔසවන කවරකු වුව ද, තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. සවස් වන තෙක් ඔහු අපවිත්‍ර ව සිටියි.
26“ ‘කුර බෙදී ඇති නමුදු, මුළුමනින් වෙන් නො වූ හෝ වමාරා නො කන හෝ හැම සතකු ම ඔබට අපවිත්‍ර ය. ඒ කවර සත්ව මළකුණක් වුව, ස්පර්ශ කරන කවරෙක් වුව, අපවිත්‍ර වෙයි. 27සියලු සිවුපාවුන් අතරින් නිය පිටින් ඇවිදින සතුන් ඔබට අපවිත්‍ර ය. එම සත්ව මළකුණක් ස්පර්ශ කරන කවුරු වුව ද සවස තෙක් අපවිත්‍ර වෙයි. 28එම මළකුණක් ඔසවන කවුරුන් වුව, තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. සවස තෙක් ඔහු අපවිත්‍ර ව සිටී. ඔබට උන් අපවිත්‍ර ය.
29“ ‘බිම දිගේ හැසිරෙන සත්ව වර්ග අතරින් ඔබට අපවිත්‍ර සතුන් නම්, මුගටියා, මීයා හා තලගොයි වර්ග, 30හූනා, හිකනලා, කටුස්සා, බෝදිලිමා හා බොහොඬා ය. 31බිම දිගේ හැසිරෙන සතුන් අතරින් උන් ඔබට අපවිත්‍ර ය. උන් මළ පසු උන් ස්පර්ශ කරන කවුරුන් වුව ද, සවස දක්වා අපවිත්‍ර වෙයි. 32උන්ගෙන් මළ එකකු, යමක් මත පතිත වුවහොත්, එම භාණ්ඩය කවර කාරියක් සඳහා ගන්නා එකක් වුව ද, එය සැදුම් ලද්දේ ලීයෙන්, රෙද්දෙන්, හමින් නැතහොත් ගෝණිවලින් වුව ද එය අපවිත්‍ර වෙයි. එය දියේ දමන්න. සවස දක්වා එය අපවිත්‍ර ව පවතී. පසුව එය පවිත්‍ර වෙයි. 33උන්ගෙන් එකකු මැටි බඳුනක් තුළට වැටුණහොත්, එතුළ තිබූ හැම දේ අපවිත්‍ර වෙයි; එම බඳුන ද බිඳ දැමිය යුතු ය. 34එකී බඳුනක වූ ජලය, යම් ආහාර ද්‍රව්‍යයක් මත වැටුණහොත් ඒවා ද අපවිත්‍ර වේ. එකී බඳුනක වූ ජලය, පානීය දියරයකට වැටුණහොත්, ඒවා ද අපවිත්‍ර වේ. 35එකී සත්ව මළකුණක්, කවර දෙයක් මත පතිත වුවත් එය අපවිත්‍ර වේ. පෝරණුවකට හෝ අහර පිසින උදුනකට හෝ එබන්දක් වැටුණහොත්, එය බිඳ දැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. ඔබ ඒවා අපවිත්‍ර සේ සැලකිය යුතු ය. 36එසේ වුව ද දිය උල්පතක් හෝ ජල-රඳනයක් හෝ එමඟින් අපවිත්‍ර නො වී පවතී. එහෙත්, එහි ඇති මළකුණ ස්පර්ශ කරන්නා අපවිත්‍ර වෙයි. 37වැපුරුම්-බීජ මත එකී මළකුණක් වැටුණ ද, ඒවා පවිත්‍ර ව ම පවතී. 38එහෙත්, ඒ බීජවලට ජලය වත් කළ පසු, ඒ මත එම සත්ව මළකුණක් වැටුණොත්, ඒවා අපවිත්‍ර වෙයි.
39“ ‘අහරට ඔබට අනුමත සතකු මළ විට, යමකුට ඒ මළකුණ ස්පර්ශ වුවහොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටී. 40එසේ මළ සතකුගේ මස් කන අය තම හැඳිවත් සෝදා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටී. යමකු එම මළකුණ එසවුවහොත්, ඔහු ද තම හැඳිවත් සෝදා ගත යුතු ය. සවස තෙක් ඔහු අපවිත්‍ර ව සිටී.
41“ ‘බිම බඩ ගා, ඇදී යන හැම සතකු ම පිළිකුලක් ය. උන් අහරට නො ගත යුතු ය. 42බඩගාමින් හෝ හතරගාතෙන් හෝ පා අඬු බොහොමයකින් හෝ බිම දිගේ ඇදී යන කවර උරගයකු වුව ද, ඔබ අහරට නො ගත යුතු ය. එය පිළිකුලකි. 43ඒ කවර සතකුගෙන් වුව ඔබ දූෂ්‍ය නො විය යුතු ය; උන් මගින් අපවිත්‍ර නො වන්න; උන් මගින් පිළිකුලට පත් නො වන්න. 44ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මා පාරිශුද්ධ බැවින්, ඔබත් පවිත්‍ර ව, ශුද්ධවත් වන්න. බිම දිගේ ඇදෙන ඒ සතුන්ගෙන් ඔබ අපවිත්‍ර නො වන්න. 45ඔබගේ දෙවියන්වහන්සේ වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ රැගෙන ආ ස්වාමින්වහන්සේ මම ය. එබැවින් ශුද්ධ ව සිටින්න. මන්ද මා පාරිශුද්ධ ය.
46“ ‘සිවුපාවුන් ද පක්ෂීන් ද ජලයෙහි ගැවසෙන ජලජ ජීවීන් ද බිම දිගේ හැසිරෙන සතුන් ද පිළිබඳ නියමයන් ඒවා ය. 47අපවිත්‍ර දෑ හා පවිත්‍ර දෑ කවරේ ද, පණ ඇති සතුන්ගෙන් අහරට ගත හැකි හා අහරට නො ගත යුතු සතුන් කවරේ ද යන්න ඔබ මෙසේ පැහැදිලි ව වටහා ගත යුතු යැ’ යි” පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

ලෙවී 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න