ලෙවී 1:1-9

ලෙවී 1:1-9 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස්ට හඬ ගැසූ සේක්, හමුවීමේ කූඩාරමේ සිට ඔහුට මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ යම් කෙනකු ස්වාමින්වහන්සේට පූජාවක් ගෙනෙන කල, එම පූජාව ගෙන ආ යුත්තේ, ගව හෝ එළු බැටළු හෝ රංචුවෙනි. “ ‘එම පූජාව ගව රංචුවෙන් ගත් දවන යාග පූජාවක් නම්, කැළැල් රහිත පිරිමි සතෙකු ඔහු ඔප්පු කළ යුතු ය. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තමා පිළිගැනෙනා ලෙස, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව ළඟදී, ඔහු එය පිළිගැන්විය යුතු ය. ඔහු උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන් පිළිගැනෙනා පිණිස, ඔහු එම දවන පූජාවේ හිස මත අත තැබිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ගවයා මැරිය යුතු ය. එවිට පූජකයින් වන ආරොන්ගේ පුත්‍රයින් ඒ ලේ ගෙනවුත්, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුවේ ඇති පූජාසනයේ සියලු පැතිවලට ඒවා ඉසිය යුතු ය. ඔහු දවන යාග පූජාව හම ගසා, කැබලිවලට කැපිය යුතු ය. ආරොන්ගේ පුතුන් වන පූජකයින් පූජාසනය මත ගිනි අවුළා, ගිනි මත දර අඩුක් කළ යුතු ය. ආරොන්ගේ පුතුන් වන පූජකයින් ඉන්පසු පූජාසනය මත දැවෙන දර මත සත්ව කැබලි සමඟ උගේ හිස ද මේදය ද ඇතිරිය යුතු ය. උගේ අතුණු හා කකුල්, ඔහු ජලයෙන් සේදිය යුතු වන අතර, පූජකයා ඒ සියල්ල පූජාසනය මත දවාලිය යුතු ය. එය ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාවකි.

ලෙවී 1 කියවන්න