විලාප ගී 4

4
1රත්රන්වල දිළිසීම නැති වී තිබෙන හැටි!
අමිශ්‍ර රන් අඳුරු වී ඇති හැටි!
පූජනීය මැණික් සියලු වීදි ඉද්දර
විසුරුවා ඇති හැටි!
2වරක් රත්රන් සේ අගේ කොට සැලකුණු
සියොන් පුර පුත්‍රයින්,
දැන් කුඹල්කරුගේ දෑතේ වැඩක් බඳු
හුදු මැටි බඳුන් සේ සැලකෙන හැටි!
3නරි දෙන්නු පවා තම පැටවුනට කිරි දීමට
තම තනබුරුල්ල පාති.
එහෙත් මගේ ජනයා වූ දියණිය
කාන්තාරයේ පැස්බරුන් මෙන්#4:3 කාන්තාරයේ පැස්බරුන් මෙන් එනම් කාන්තාරයේ බිජු ලා හැර යන පැස්බරුන් මෙන් කුරිරු ව ඇත.
4කිරි දරුවන්ගේ දිව් පිපාසයෙන්
උඩු තල්ලේ ඇලේ;
ළමා ළපටි කෑම ඉල්ලා හැපෙති;
එහෙත් කෑමට යමක් ඔවුනට දෙන කෙනකු නැත.
5වරක් රසමසවුළු භුක්ති වින්දෝ,
දැන් මහමඟ සාගින්නේ හිඳිති;
සුඛ විහරණයෙන් ඇතිදැඩි වූවෝ,
දැන් කුණු බක්කි අවුස්සති.
6ආධාරයට අතක් එසවෙන්නටත් පෙර,
එක් ඇසිල්ලකින් බිඳ හෙළනු ලැබූ,
සොදොමේ දඬුවමටත් වඩා
මගේ ජනයා වූ දියණියගේ දඬුවම බරපතළ ය.
7ඔවුන්ගේ අධිපතීහු, හිමට වඩා නිර්මල ව,
කිරටත් වඩා සුදු පැහැ ව සිටියහ.
ඔවුන්ගේ සිරුරු රතු කැටයට වඩා රත් පැහැ විණ,
පෙනුමෙන් ඔවුහු ඉඳුනිල් මැණික් සේ වූහ.
8එහෙත් දැන් ඔවුන් අඟුරුවලටත් වඩා කළු ය;
මං මාවත්වලදී ඔවුන් හඳුනාගත නො හැක.
ඔවුන්ගේ හම හැකිළී, ඇටකටුවලට ඇලී,
වියළි කෝටුවක් මෙන් වී ඇත.
9සාගින්නෙන් මිය ගියවුනට වඩා,
කඩුවෙන් මැරුම්කෑවුන්ට සහනයකි.
මන්ද, කෙතේ අස්වනු නැති වී,
ඔවුහු හාමතේ විඳවමින් මරණයට පත් වූහ.
10කරුණාවන්ත කාන්තාවෝ තම අත්වලින්
තමන්ගේ ම දරුවන් පිසූහ;
මගේ ජනයා වූ දියණියගේ විනාශයේදී
ඔවුන්ගේ ආහාරය වූයේ ඔවුන් ය.
11 ස්වාමින්වහන්සේ තම උදහස මුළුමනින් විදහා පෑ සේක්;
තම බලවත් කෝපය වැගුරූ සේක;
උන්වහන්සේ සියොන් පුර ඇතුළත ගින්නක් අවුළවා,
පුර අත්තිවාරම් එයින් දවා දැමූ සේක.
12යෙරුසලම් පුර දොරටුවලින් ඇතුළු වීමට
සතුරාටත්, එදිරිවාදියාටත් හැකි වේ යැයි
මිහි පිට රජුන් විශ්වාස කළේ නැත;
ලොවෙහි කිසිවකු ද විශ්වාස කළේ නැත.
13එහෙත් එසේ වූයේ, එපුර තුළ
නිදොස් අයගේ ලේ වගුළ
එහි දිවැසිවරුන්ගේ පාප නිසාත්,
එහි පූජකයින්ගේ අපරාධ නිසාත් ය.
14දැන් ඔවුහු අන්ධයින් සේ මග නො දැන,
වීදි දිගේ ගාටති;
ඔවුන් කොතරම් ලෙයින් දූෂ්‍ය ව සිටියේ ද යත්,
කිසිවෙක් හෝ ඔවුන්ගේ ඇඳුමක පවා නො ගෑවෙති.
15“ඉවත් ව යනු! නුඹලා අපවිත්‍ර ය,
යනු! යනු! අපට අත නො තබනු” යි
කෑ ගසමින් ජනයා ඔවුන් පන්නති;
එවිට ඔවුන් පලා ගොස්, විජාතීන් අතරේ මංමුළා වූ කල,
ඒ ඒ ජනයා, “මොවුන් තවත් මෙහි සිටිය යුතු නැතැ” යි කියති.
16 ස්වාමින්වහන්සේ ම ඔවුන් විසුරුවා හළ සේක;
උන්වහන්සේ තවත් ඔවුන් ගැන තැකීමක් නැත.
පූජකයින්ට ගෞරවයවත්,
නායකයින්ට අනුග්‍රහයවත් තවත් ලැබෙන්නේ නැත.
17නො ලැබෙන ආධාර ගැන තවත් බලා සිටිය නො හැකි තරමට
අපේ ඇස් රිදුම්කයි.
අප ගලවන්නට නො පැමිණි ජාතියක් ගැන
අපේ මුරටැම්හී සිට අපි මග බලා සිටියෙමු.
18අපේ වීදිවල ඇවිදීමට පවා අපට නො හැකි වූයේ,
අප තබනා හැම පියවරක් දෙස ම සතුරා විපරමින් සිටි බැවිනි.
අපගේ අවසානය ළඟා වී තිබිණ; අපගේ කාලය නිම වී තිබිණ;
අපගේ අන්තිමය එළැඹ තිබිණ.
19අප ලුහුබැඳ එන්නෝ,
අහසේ රාජාලීන්ටත් වඩා වේගවත් වූහ.
ඔවුහු කඳු ඔස්සේ අප එළවා අවුත්,
අප අල්ලන්නට කාන්තාරයේ රැක සිටියහ.
20 ස්වාමින්වහන්සේගෙන් ආලේප ලද්දාණන් වූ අපගේ පණනල වූ රජු
ඔවුන්ගේ උගුලට හසුවිණ.
අප සිතා සිටියේ, ඔහුගේ රැකවරණ යටතේ
අපට ජාතීන් අතරේ වාසය කළ හැකිවේය කියා ය.
21ඌස් දේශයේ වෙසෙන ඒදොම් දියණියනි,
ප්‍රීති වන්න! ප්‍රමෝද වන්න!
එනමුත් මේ කුසලාන ඔබ අතටත් පත් වන්නේ ම ය.
නුඹ බීමත් වනු ඇත; නුඹ නිරුවත් කෙරෙනු ඇත.
22එම්බා සියොන් දියණිය, ඔබේ දඬුවම ගෙවී යත;
ඔබේ පිටුවහල් ව සිටීමේ කාලය තවත් දිග් නො ගැසේ.
එහෙත් ඒදොම් දියණියනි, උන්වහන්සේ නුඹේ පාපයට දඬුවම් කරන සේක;
නුඹේ දුෂ්ටකම අනාවරණ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

විලාප ගී 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න