විලාප ගී 3:1-66
විලාප ගී 3:1-66 SCV
ස්වාමින්වහන්සේගේ උදහසේ ඉපලෙන් දුක් පීඩා අත්දුටු මිනිසා මා ය. උන්වහන්සේ ඉවතට මා පලවා හැර, ආලෝකයක් නැති, අන්ධකාරයෙහි මට ඇවිදින්නට සැලසූ සේක. සැබවින් ම උන්වහන්සේ දවස මුළුල්ලේ යළි යළිත් මට එරෙහිව තම හස්තය එසවූ සේක. උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්, මගේ ඇටකටු බිඳ දැමූ සේක. උන්වහන්සේ දුක් දොම්නස්වලින් හා පීඩා උවදුරුවලින් මා වටකර ලූ සේක. උන්වහන්සේ මට අන්ධකාරයෙහි සිටින්නට සැලැස්වූයේ, දිගු කලකට ඉහත මියැදුණුවුන් සිටින පරිද්දෙනි. මට පැන යන්නට බැරි ලෙස උන්වහන්සේ, තාප්පයකින් මා වට කළ සේක්, බර දම්වැලකින් මා බැඳ දැමූ සේක. පිහිට වන ලෙස ඉල්ලා මා මොර ගසන විටදී, උන්වහන්සේ මගේ යාච්ඤාවට කන් වසා ගත් සේක. කැපූ ගලින් උන්වහන්සේ මගේ මාර්ගය ඇහුරූ සේක්, මගේ මාවත අවහිර කළ සේක. යන මග රැක සිටින වලසකු සේ ද රහසේ සැඟවී සිටින සිංහයකු සේ ද උන්වහන්සේ මාර්ගයෙන් ඉවතට මා ඇදගෙන ගොස්, මා ඉරා දැමූ සේක්, අනාථ අසරණ භාවයට මා පත් කළ සේක. උන්වහන්සේ දුනු-දිය ඇද, තම හීවලට මා ඉලක්ක කළ සේක. උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන් මගේ හද ඇතුළට ම විද්ද සේක; මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ; දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ. උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා, තිත්ත කදුරු මට බොන්නට දුන් සේක. උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක; උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක. ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත; සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි. එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි; ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.” තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත. එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ, මට බලාපොරොත්තුවක් ඇති බැවිනි. අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය. එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්, ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ. තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින් ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ. තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ; නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ! මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක. උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක. උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය. මන්ද, ස්වකීය කැමැත්තෙන් ම උන්වහන්සේ මිනිස් වර්ගයාට හිංසා-පීඩා හෝ සෝ-දුක් හෝ පමුණුවන්නේ නැත. දේශයේ සිරකාර සියල්ලන් පාගා පොඩිකර දැමීමත්, මහෝත්තමයාණන් ඉදිරියෙහි මානව හිමිකම් අහිමි කිරීමත්, කෙනකුගේ යුක්තිය පෙරළීමත් යන දෑ ස්වාමියාණන් නො බලා සිටින සේක් ද? ස්වාමියාණන් නියම කර නැති නම් යමක් පවසා, එය ඉෂ්ට කළ හැක්කේ කවරකුට ද? විපත්තිය හා සුබ සෙත යන දෙක ම නික්ම එන්නේ, මහෝත්තමයාණන්ගේ මුවින් නො වේ ද? තම පාපයට විපාක ලබන කල, මිනිසෙක්, ජීවත් වන මිනිසෙක්, මැසිවිලි නගන්නේ මන්ද? අපගේ මාර්ග විභාග කර, පරීක්ෂා කර ගෙන, ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරෙමු. අපි අපගේ හදවත් ද අපගේ අත් ද ස්වර්ගයේ දෙවියන්වහන්සේ වෙත ඔසවා, මෙසේ කියමු: “අපි පව් කළෙමු; කැරලි ගැසුවෙමු; ඔබවහන්සේ කමා කළේ නැත. “ඔබ කෝපය දවටාගෙන අප ලුහුබැඳි සේක්, අනුකම්පාවක් නැතිව අප ඝාතන කළ සේක. ඔබ වලාකුළක් පොරවා ගත්තේ, යාච්ඤාවකට ඔබ වෙත ළඟා විය නො හැකි වන පරිද්දෙනි. ඔබවහන්සේ ජාතීන් අතරෙහි අප කුණු හා කැළි කසළ වන්නට සැලසූ සේක. “අපේ සියලු සතුරන් අපට එරෙහිව මුව අයාගෙන ය. භීතිය හා මර උගුල් ද වැනසීම හා විනාශය ද අප පිට පැමිණ ඇත.” මගේ ජනයා වූ දියණියගේ විනාශය නිසා මගේ දෑසින් කඳුළු ගංගා ගලයි. නො නැවත, නිරතුරු ව මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහත බලා, දකින තෙක් ය. මගේ පුරවරයේ කාන්තාවන්ගේ දුක්ඛිත ඉරණම දකින විට මා සිත් කම්පා වේ. හේතුවක් නැතිව ම මට සතුරු වූවෝ, කුරුලු දඩයමක් සේ මා කොටු කර ගත්හ. පණ පිටින් මා වළක හෙළූ ඔවුහු මා පිට ගල් හෙළූහ. ජලය මගේ ඉහට උඩින් ගලා ගියෙන්, “ඉතින් මා ඉවර යැ” යි මම සිතීමි. නරාවළේ ගැඹුරේ සිට අහෝ ස්වාමින්වහන්ස, මම ඔබගේ නාමය කියා කෑ ගැසුවෙමි. මගේ යැදුම ඔබ ඇසූ සේක: උදවු ඉල්ලා මා හඬ ගසන කල, ඔබගේ කන් වසා නො ගත මැනව. මා හඬ ගැසූ කල, මට ළං වූ ඔබ, “භය නො වන්නැ” යි කී සේක. අහෝ සමිඳුනි, ඔබ මා උදෙසා කරුණු කී සේක්, මගේ ජීවිතය මුදා ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මට කරන ලද අසාධාරණය ඔබ දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව. ඔවුන්ගේ සියලු පළිගැනීම් ද මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ ඔබ දුටු සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ගේ අවලාද, මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ, මගේ සතුරන් මට එරෙහිව දවස මුළුල්ලේ කොඳුරමින්, නැගූ මැසිවිලි ඔබ ඇසූ සේක. බැලුව මැනවි, හිඳ ගත්ත ද සිට ගත්ත ද ඔවුන් කරන්නේ තම කවි සින්දුවලින් මට සරදම් කිරීම ය. ඔවුන් තම අත්වලින් කළ දෑට හිමි නිසි දඬුවම් ඔවුන්ට දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස. ඔවුන්ගේ හදවත් ගල් කළ මැනව; ඔබගේ ශාපය ඔවුන් පිට වේවා! කෝපයෙන් ඔවුන් ලුහුබැඳ ගොස්, ස්වාමින්වහන්සේගේ අහස යටින් ඔවුන් අතු ගා දැමුව මැනව.

