විලාප ගී 2:15-19

විලාප ගී 2:15-19 SCV

නුඹ පසු කර මග යන එන සියල්ලෝ, නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති; ඔවුහු යෙරුසලම් දියණියට සමච්චල් කරමින්, තම හිස් වන වනා, “ඔහෝ! අලංකාරයේ පරිපූර්ණත්වය ය, සමස්ත පොළොවේ ප්‍රීතිය යැයි හැඳින්වුණු පුරවරය ද මේ!” යි අසති. නුඹේ සියලු සතුරෝ මුව පුරා නුඹට සමච්චල් කරති. ඔවුහු නුඹට ගරහමින් දත්මිටි කමින් ද “හෝ අපි යෙරුසලම යට කර දැම්මෙමු; අප පුල පුලා සිටි දවසයි මේ; අපි අපේ ම ඇස්වලින් එය දැක්කෙමු” යි කියති. ස්වාමින්වහන්සේ තමන් අරමුණු කළ දේ කළ සේක; උන්වහන්සේ ආදි කාලයේ තමන් නියම කර තිබූ තම වචනය ඉෂ්ට කළ සේක. උන්වහන්සේ දයා විරහිත ව නුඹ බිඳ හෙළූ සේක්, නුඹ ගැන කුරිරු ලෙස සතුටු වන්නට සතුරාට ඉඩ සැලසූ සේක. උන්වහන්සේ නුඹේ එදිරිවාදීන්ගේ බලය උසස් කළ සේක. ජන හදවත් ස්වාමින්ට මොර ගසන්නේ ය. එම්බා මගේ ජනයා වූ සියොන් දියණියගේ පුර පවුරු, දිවා රැයේ නුඹේ කඳුළු ගඟක් සේ ගලා යේවා; විරාමයක් නො ගෙන, එක දිගට ම ඇසේ කඳුළු හෙළන්න. රැය මුළුල්ලේ පිබිද, රෑ යාම ඇරඹුමේ දී හඬා වැටී, ස්වාමින් අබියස ඔබේ හද වතුර මෙන් වගුරු වන්න. හැම වීදියක් ඉද්දර හාමතින් ක්ලාන්ත වන ඔබේ දරුවන්ගේ ජීවිත උදෙසා, උන්වහන්සේ වෙත ඔබේ අත් ඔසවන්න.