විලාප ගී 1:9-16
විලාප ගී 1:9-16 SCV
ඇගේ අපවිත්‍රතාව, ඇගේ වස්ත්‍රයට ඇලී ඇත; තම ඉරණම ගැන ඇය සිතා බලා නැත. එබැවින් ඇගේ ඇද වැටීම, ඇදහිය නො හැකි තරම් ය; ඇය සනසන්නට කිසි කෙනකු නැත. “අහෝ ස්වාමින්වහන්සේ, බැලුව මැනව මගේ දුක් පීඩා, මගේ සතුරා ජය ගත්තා නො වේ ද?” ඇගේ සියලු ධන සම්පත් පිට සතුරා අත් දිගු කළේ ය; ඔබගේ එක්රැස්වීම්වලට ඇතුළු වීමට අවසර නැති අන්‍ය-ජාතීන්, ඇගේ ශුද්ධස්ථානයට පිවිසියේ ඇගේ ඇස් ඉදිරිපිටදී ම ය. කෑමට යමක් සොයා යන අතරේ ඇගේ සියලු ජනතාවෝ හූල්ලති. ඔවුහු පණ රැක ගන්නට තමන් ප්‍රියත ම වස්තුව, ආහාරවලට හුවමාරු කර ගනිති. “බැලුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මා කෙතරම් නීච ව ඇද්දැයි සැලකිල්ලට ගත මැනව.” “මෙතැන පසු කර යන සියල්ලෙනි, නුඹලාට ගාණක් නැද්ද? අවට සිසාරා බලන්න, මා පිට පැමිණ තිබෙන්නා වූ, ස්වාමින්වහන්සේ තම උග්‍ර කෝප දවසේ මා පිට පැමිණ වූ, මගේ දුක් පීඩා හා සමාන දුක් පීඩා තවත් වේ ද? “උන්වහන්සේ ඉහළ අහසේ සිට ගින්නක් එවා, මගේ ඇටකටු තුළට ම බැස්ස වූ සේක. උන්වහන්සේ මගේ පාදවලට දැලක් එළූ සේක්, මා ආපස්සට හැරවූ සේක. උන්වහන්සේ මා පාළු කළ සේක්, දවස මුළුල්ලේ මා මුර්ඡා කළ සේක. “උන්වහන්සේගේ අතින් එක් කොට බඳින ලද මගේ අයුතුකම් වියගහක් කොට බැඳ, මගේ කර මත බර ව තිබේ. මෙසේ සමිඳාණෝ මගේ ශක්තිය හීන කළ සේක්, මට වඩා බලවත් සතුරා අතට මා හසුකර දුන් සේක. “මා මධ්‍යයේ සිටි සියලු රණවිරුවන් ස්වාමියාණන් එපාකර දැමූ සේක්; මගේ තරුණ කැල පොඩිපට්ටන් කර දමන පිණිස, එතුමාණෝ මට එරෙහිව හමුදාවක් කැඳවූ සේක. මිදි මෝලෙහි හෙළා, මිදි මඩින්නා සේ ස්වාමියාණන් යූදා කන්‍යාවිය පාගා දැමූ සේක. “මා හඬා වැලපෙන්නේ එබැවිනි. මගේ දෑසින් කඳුළු කඩා හැලේ. මා සනසන්නට කෙනකු ළඟ පාතක නැත. මා දිරිගන්වන්නට කිසි කෙනකු නැත. සතුරා ජය ගෙන ඇති බැවින්, මගේ දරුවෝ අනාථ ව ගොසිනි.”

