යෝෂුවා 9:3-15
යෝෂුවා 9:3-15 SCV
එහෙත් ගිබෙයොන් වාසීහු මේ අතර යෝෂුවා යෙරිකෝවටත්, ආයිටත් කළ දෑ ඇසූ කල, ප්‍රයෝගයෙන් ක්‍රියා කරමින්, තමන් තානාපතීන් මෙන් පෙන්වමින්, තම බූරුවන් සඳහා අබලන් ගෝණි පඩංගු ද පරණ වූ, ඉරුණු, පිළියම් කළ මිදි යුෂ සම්-බඳුන් ද ගෙන ගියහ. අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලූ, දිරාගිය ඇඳුම් ඇඟ ලූ ඔවුන්ගේ ආහාර සියල්ල වේළුණු, පුස් බැඳුණු ඒවා විය. ඉන්පසු ඔවුහු ගිල්ගාල් කඳවුරේ සිටි යෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්‍රායෙල් ජනයාටත් කතා කොට, “අප ආවේ දුර රටකින්; එබැවින් දැන් අප සමඟ ගිවිසුමක් කරන්නැ” යි ඉල්ලූහ. ඉශ්‍රායෙල් මිනිස්සු හිවීවරුන් අමතමින්, “ඇතැම් විට ඔබ අප අතරේ වාසය කරනවා විය හැකියි. එහෙම නම් ඔබ සමඟ අප ගිවිසුමක් ඇතිකර ගන්නේ කෙසේ දැ?” යි ඇසූහ. ඔවුහු යෝෂුවා අමතා, “අපි ඔබගේ දාසයෝ” යි පැවසූහ. එහෙත් යෝෂුවා, “නුඹලා කවුරු ද? කොහේ සිට ආවා දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ දාසයින් වන අප ආවේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කීර්තිය නිසා බොහෝ දුර ඈත දේශයක සිටයි. මන්ද, උන්වහන්සේ ගැන තොරතුරුත්, උන්වහන්සේ ඊජිප්තුවේ කළ සියල්ලත්, යොර්දානයෙන් එගොඩ අමෝරි රජවරුන් දෙදෙනා වන හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ට හා අෂ්තාරෝත්හි රජකම් කළ බාෂාන්හි රජු වූ ඕග්ට කළ සියල්ලත් ගැන අප අසා තියෙනවා. එබැවින් අපේ වැඩිහිටියන් හා අපේ රට වැසියන් සියලු දෙනා අප අමතා, ‘ඔබේ ගමනට අවශ්‍ය දෑ රැගෙන, ඔවුන් හමු වන්නට ගොස්, ඔවුන්ට කතා කොට, “අපි ඔබගේ දාසයෝ; අප සමඟ ගිවිසුමක් කරන්න” කියා කියන්නැ’ යි කීවා. මෙන්න, අපේ රොටි; ඔබ වෙත එන්නට අප පිටත් වූ දවසේ, අපගේ ගමනට ආහාර වශයෙන් අපේ ගෙවලින් මේවා ගන්නා විට ඒවා උණුසුම් ව තිබුණා. ඒත් දැන්! මෙන්න ඒවා වේලිලා. පුස් බැඳිලා. මේ මිදි යුෂ සම්-බඳුන් අප ඒවා පුරවද්දී, ඒවා නැවුම් ව තිබුණා. ඒත් දැන්, ඒවා පැළී ගොසින්. අපගේ හැඳිවත් හා පාවහන්, ගමන ඉතා දිගු නිසා ඒවා අබලන් වෙලා” යි පැවසූහ. ඉශ්‍රායෙල් මිනිස්සු ඔවුන්ගේ ආහාර පිළිගත් නමුදු, ස්වාමින්වහන්සේගෙන් උපදෙස් විමසුවේ නැත. යෝෂුවා ඔවුන් සමඟ සාමය ඇතිකර ගෙන, ඔවුනට ජීවත් වන්නට ඉඩ දෙමින්, ඔවුන් සමඟ ගිවිසුමක් ඇතිකර ගත්තේ ය. ජන සමූහයාගේ නායකයෝ ඔවුනට දිවුරුවෝ ය.

