යෝෂුවා 9:16-27

යෝෂුවා 9:16-27 SCV

ඔවුන් සමඟ ගිවිසුමක් කර දවස් තුනකට පසු, ඔවුන් තම අසල්වාසීන් වගත්, තමනට කිට්ටුවෙන් වාසය කරන වගත් ඉශ්‍රායෙල්වරුන්ට දැනගන්නට ලැබිණි. ඉශ්‍රායෙල් ජනයා පිටත් වී, තුන් වන දවසේ ඔවුන්ගේ පුරවර වෙත ළඟා වූහ. ඔවුන්ගේ පුරවර වූයේ ගිබෙයොන්, කෙෆීරා, බෙයේරොත් හා කිරියත්-යෙයාරීම් ය. එහෙත් ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට පහර දුන්නේ නැත; මන්ද, සමූහයාගේ නායකයින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරා තිබූ බැවිනි. එවිට සමස්ත ජන සමූහයා නායකයින්ට එරෙහිව මැසිවිලි නගන්නට වූහ. එහෙත් නායක සියල්ලෝ මුළු සමූහයාට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් අප ඔවුන්ට දිවුරා ඇති නිසා දැන් අප ඔවුන්ට අත නො තැබිය යුතු ය. අප ඔවුන්ට කරන්නේ මෙයයි: අප ඔවුන්ට දිවුළ දිවුරුම කඩ කිරීමෙන්, උදහස අප පිටට නො ඒවා; ඔවුන්ට ජීවත් වන්නට ඉඩ හරිමු” යි පැවසූහ. නායකයෝ ඔවුන්ට මෙසේ ද කීහ. “ඔවුන් ජීවත් වුණා වේ. එහෙත් ඔවුන් මුළු ජන සමූහයාට මෙහෙ කරන පිණිස දර කපන්නන් හා දිය අදින්නන් බවට පත් වන්නට ඉඩ හරිමු.” මෙසේ නායකයන් ඔවුන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයට ම ඉටු කරනු ලැබී ය. ඉන්පසු යෝෂුවා, ගිබෙයොන් වාසීන් කැඳවා, ඔවුන් අමතමින්, “නුඹලා අප අතරෙහි වෙසෙමින්, ‘අප ජීවත් වන්නේ ඔබට බොහෝ ඈතින්’ කියමින් අප රැවටුවේ ඇයි? එබැවින් දැන් නුඹලා ශාපයකට යටත්. නුඹලාගෙන් ඇතැම් දෙනකු කිසි දින නො නවතින දාසයන් වන්නේ ය. ඒ, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දර කපන්නන් ද දිය අදින්නන් ද ලෙස මෙහෙ කිරීමෙන් යැ” යි කී ය. ඔවුහු යෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබට දෙන්නටත්, එහි වාසය කරන සියල්ලන් ඔබ ඉදිරියෙන් විනාශ කර දමන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය සේවක මෝසෙස්ට අණ කළ හැටි ඔබේ සේවකයින් වන අපට පැහැදිලි ව පවසනු ලැබිණ. ඔබ නිසා අපගේ ජීවිත ගැන වූ මහ භයක් අපට ඇති විණ. අප එසේ කළේ එබැවිනි. මෙන්න, අප දැන් ඔබ අතේ; ඔබට හොඳයයි, හරියයි පෙනෙන ලෙස අපට කරන්න; එසේ කරන්නැ” යි පැවසූහ. එබැවින් ඔහු ඔවුන්ට කළේ මෙයයි: ඔහු ඉශ්‍රායෙල්වරුන් අතින් ඔවුන් මුදා ගත්තේ ය. ඔවුහු ද ඔවුන් මරා දැමුවේ නැත. එහෙත් ඔහු ඒ දවසේ ජන සමාජය උදෙසාත්, උන්වහන්සේ තෝරා ගන්න ස්ථානයේ ස්වාමින්වහන්සේගේ පූජාසනය උදෙසාත්, අද දක්වා ම තිබෙන පරිදි දර කපන්නන් ද දිය අදින්නන් ද හැටියට ඔවුන් පත් කළේ ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 9:16-27 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය