යෝෂුවා 7:10-26

යෝෂුවා 7:10-26 SCV

ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “නැගිට සිටින්න! මොකද ඔබ මේ වැටී මුහුණ බිම ඔබාගෙන? ඉශ්‍රායෙල් පව් කරල; රක්ෂා කරන්නැයි මා ඔවුනට අණ කළ මගේ ගිවිසුම ඔවුන් කඩ කරල. විනාශයට කැප කළ දේවලින් ඇතැම් දේ ඔවුන් අරගෙන; ඔවුන් සොරකම් කරල; වංචා කරල; තමන්ගේ බඩු අතරට ඒවා දාගෙන. එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට තම සතුරන් ඉදිරියේ සිටගත නො හැකියි; ඔවුන් තම සතුරන් ඉදිරියේ ආපසු හැරිලා. මන්ද ඔවුන් තමන් ම විනාශයට කැප කර ගෙන. ඔබ අතරේ ඇති කැප කළ දෑ විනාශ කර දැමුවොත් මිස මම තවත් ඔබ සමඟ නො සිටින්නෙමි. “නැගිටින්න, ජනයා පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘හෙට දවස උදෙසා සූදානමින් සිටින පිණිස, නුඹලා ම පවිත්‍ර වනු; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එම්බා ඉශ්‍රායෙල්, විනාශයට කැප කළ දේ නුඹලා අතරේ වෙයි. ඒ කැප කරන ලද දෑ නුඹ වෙතින් ඉවත් කරන තෙක් නුඹලාගේ සතුරන් ඉදිරියේ නුඹලාට නැගී සිටීමට හැකි නො වේ. “ ‘එබැවින් හෙට උදෑසන ඔබ ගෝත්‍රයෙන් ගෝත්‍රය ඉදිරියට ආ යුතු ය. පස ඇට දැමීමෙන් ස්වාමින්වහන්සේ ගන්නා ගෝත්‍රය, පියවංශය වශයෙන් ළඟා විය යුතු ය. ස්වාමින්වහන්සේ ගන්නා පියවංශය, පවුල් වශයෙන් ළඟා විය යුතු ය. ස්වාමින්වහන්සේ ගන්නා පවුල, තනි තනි පුද්ගලයා වශයෙන් ළඟා විය යුතු ය. විනාශයට කැප කළ දේ සමඟ අසු වූ තැනැත්තා ගින්නෙහි පුලුස්සා දැමිය යුතු ය. ඔහු සමඟ ඔහු සන්තක සියල්ලට ද එසේ කළ යුතු ය. මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ගිවිසුම කඩකොට, ඉශ්‍රායෙල්හි නින්දිතකමක් කර ඇතැ’ යි” පැවසූ සේක. එබැවින් යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, ඉශ්‍රායෙල් ගෝත්‍රයෙන් ගෝත්‍රය ළං කරවී ය. යූදා ගෝත්‍රය ගනු ලැබිණ. ඉන්පසු ඔහු යූදා පියවංශ ළං කරවී ය. සර්හී පෙළපත ගනු ලැබිණ; ඉන්පසු සර්හී පියවංශය පවුල් වශයෙන් ළං කරවී ය. සබ්දී ගනු ලැබිණ. ඉන්පසු ඔහු, සබ්දී පවුල තනි තනි පුද්ගලයා වශයෙන් ළං කරවී ය. එවිට ආකාන් ගනු ලැබී ය. ඔහු යූදා ගෝත්‍රයේ සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්‍රයා ය. එවිට යෝෂුවා, ආකාන් අමතා, “මගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහිමය දෙන්න. වරද උන්වහන්සේට කියන්න. ඔබ කුමක් කළේදැයි මට කියන්න; එය මගෙන් සඟවන්න එපා” යි පැවසී ය. එවිට ආකාන් යෝෂුවාට පිළිතුරු දෙමින්, “එය ඇත්තයි; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව මා පව් කළා. මා කළේ මෙයයි. කොල්ලය අතරේ ෂිනාර් දේශයේ අලංකාර ලෝගුවක් ද රිදී ෂෙකෙල් දෙසීයක් හා ෂෙකෙල් පනහක් බර රන් කූරක් ද දැක, ඒවාට ආශා වී, මා ඒවා ගත්තා. අන්න දැන් ඒවා මගේ කූඩාරම ඇතුළේ පොළොව යට සඟවා තියෙනවා. ඊට යටින් රිදී ඇතැ” යි පැවසී ය. එබැවින් යෝෂුවා පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු කූඩාරම වෙත දිව ගියහ. මෙන්න! ඒවා එහි තිබිණි. ඒවා ඔහුගේ කූඩාරම තුළ සඟවා තිබිණි. ඊට යටින් රිදී තිබිණි. ඔවුහු කූඩාරමෙන් ඒවා රැගෙන, යෝෂුවා හා සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත ගෙනවුත්, ස්වාමින්වහන්සේ අබියස ඒවා අතුළෝ ය. එවිට යෝෂුවා, සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ, සෙරාගේ පුත් ආකාන් ද රිදී හා ලෝගුව ද රන් කූර ද ඔහුගේ පුතුන් හා දූවරුන් ද ඔහුගේ ගව, බූරු හා බැටළු යන සතුන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද ගත්තේ ය. ඔවුහු ආකොර් මිටියාවත වෙත ඔවුන් ගෙන ගියහ. යෝෂුවා කතා කොට, “ඇයි නුඹ අප පිට මේ විපත්තිය ගෙනාවේ? අද දවසේ ස්වාමින්වහන්සේ නුඹ පිටට විපත්තිය ගෙනෙන සේකැ” යි පැවසී ය. එවිට මුළු ඉශ්‍රායෙල් ඔහුට ගල් ගැසූහ. ඉන්පසු ඔවුහු සෙසු අයට ද ගල් ගසා, ඔවුන් පුලුස්සා දැමූහ. තවද ඔවුහු අද දක්වාත් තිබෙන පරිදි විශාල ගල් ගොඩක් ඔහු මත ගොඩ ගැසූහ. ඉන් අනතුරුව ස්වාමින්වහන්සේ තම දැවෙන කෝපයෙන් ඉවත හැරුණු සේක. එබැවින් එම ස්ථානය අද දක්වා ආකොර් මිටියාවත නමින් හැඳින්වෙයි.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 7:10-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය