යෝෂුවා 7:1-9

යෝෂුවා 7:1-9 SCV

එහෙත් ඉශ්‍රායෙල්වරු විනාශයට කැප කළ දෑ ගැන විශ්වාසය කඩ කළහ; යූදා ගෝත්‍රික සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්, ආකාන්, කැප කළ දේවලින් කීපයක් ගත්තේ ය. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව ඇවුළුණේ ය. යෝෂුවා, බෙතෙල්ට නැගෙනහිර දෙසින් බෙත්-ආවෙන් අසල පිහිටි ආයි වෙත යෙරිකෝවේ සිට මිනිසුන් යැවී ය. ඔහු ඔවුන් අමතා, “ගොසින්, දේශයේ ඔත්තු බලන්නැ” යි පැවසී ය. එබැවින් ඒ මිනිස්සු පිටත් ව, ආයිහි ඔත්තු බැලූහ. යෝෂුවා වෙත පෙරළා ආ ඔවුහු ඔහු අමතා, “ආයිට එරෙහිව සියලු ජනයා යා යුතු නැත; මිනිසුන් දෙතුන් දහසක් පමණ ගොස්, ආයිට පහර දිය හැක. හැමෝම වෙහෙස කරවීමට වුවමනා නැත. මන්ද එහි සිටින්නේ ඔවුන් ස්වල්ප දෙනෙකැ” යි කීහ. මෙසේ මිනිසුන් තුන්දහසක් පමණ ජනයා වෙතින් ගියහ; එහෙත් ඔවුහු, ආයි මිනිසුන් වෙතින් පලා දිවූහ. ආයි වාසීහු, ඔවුන්ගෙන් තිස්හය දෙනකු පමණ මරා දැමූහ. ඔවුහු නගර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පන්නා ගොස්, බෑවුමේදී ඔවුන් ගසා හෙළූහ. එබැවින් ජනයාගේ හදවත් දියවී, වතුර මෙන් වූයේ ය. එවිට යෝෂුවා තම හැඳිවත් ඉරාගෙන, ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස මුණින් තලා බිම වැටී, සවස් වන තෙක් ම සිටියේ, ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද සමඟිනි. ඔවුහු තම හිස් පිට දූලි ඉසගත්හ. යෝෂුවා කතා කොට, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන්ගේ අත්වලට අප හසුකර දෙන්නට, මේ ජනතාව යොර්දානෙන් මෙගොඩට ගෙන ආවේ ඇයි? යොර්දානෙන් එගොඩ නවතින්නට අප සතුටු වූවා නම්! අහෝ ස්වාමිනි, දැන් ඉශ්‍රායෙල් තම සතුරන් වෙතින් ආපස්සට හරවනු ලැබූ බැවින්, මා කුමක් කියන්න ද? කානානිවරුන් හා සෙසු දේශ වාසීන් ඒ ඇසූ කල, අප වට කොට, අපගේ නාමය පොළොවෙන් මකා දමනු ඇත. එවිට ඔබගේ උත්තම නාමය උදෙසා ඔබ කුමක් කරන්නේ දැ?” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 7:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය