යෝෂුවා 4:1-11

යෝෂුවා 4:1-11 SCV

මුළු ජාතිය ම යොර්දාන් ගඟෙන් එතෙර වී අවසන් වූ කල, ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “එක් ගෝත්‍රයකට එක් මිනිසකු බැගින් ජනයා අතරෙන් මිනිසුන් දොළොස් දෙනකු තෝරා, ඔවුන්ට අණ කරමින්, ‘යොර්දාන් ගඟ මැද හරියට ම පූජකයින් සිටගෙන සිටින මෙතැනින් ගල් දොළොසක් ගන්න. ඒවා ඔබ සමඟ ගෙන ගොස්, අද රැයේ ඔබ නවාතැන් ගන්නා තැන ඒවා තැන්පත් කරන්නැ’ යි කියා කියන්නැ” යි පැවසූ සේක. එබැවින් යෝෂුවා, ඉශ්‍රායෙල් ජනයාගෙන් එක් ගෝත්‍රයකට එක් කෙනකු බැගින් තමා පත් කර තිබූ මිනිසුන් දොළොස් දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියට, යොර්දාන් ගඟ මැදට ගොස්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණනට අනුව ඔබ හැම කෙනකු ම ගලක් බැගින් උර මතට ගන්න. මෙය ඔබ අතරේ ලකුණක් වනු ඇත. මතු දවස්හි දී ඔබේ දරුවන්, ‘මොකක් ද මේ ගල්වල ඔබට ඇති තේරුම යැ?’ යි ඔබෙන් ඇසූ විටෙක, ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ යොර්දාන් ජල ප්‍රවාහය තීන්දුවට ම වෙන් ව ගිය වග ද එය යොර්දාන් ගඟෙන් එතෙර වීමේදී, යොර්දාන් ජලය බෙදී ගිය වග ද එබැවින් මේ ගල් ඉශ්‍රායෙල් ජනතාවට සදාතනික සිහිවටනයක් වනු ඇති වග ද ඔවුන්ට කියන පිණිස යැ’ යි” කීවේ ය. එබැවින් ඉශ්‍රායෙල් ජනයා, යෝෂුවා අණ කළ පරිදි කරමින්, ස්වාමින්වහන්සේ යෝෂුවාට පවසා තිබූ පරිද්දෙන්, ඉශ්‍රායෙල් ජනයාගේ ගෝත්‍ර ගණනට අනුව, යොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් උසුලා ගත්හ. ඔවුහු ඒවා තමන් සමඟ උසුලා, ඔවුන් කඳවුරු බැඳි ස්ථානයට ගෙන ගොස්, ඒවා එහි තැන්පත් කළහ. තවද යෝෂුවා ගිවිසුම් කරඬුව රැගත් පූජකයින් සිටගෙන සිටි ස්ථානයේ යොර්දාන් ගඟ මැද ද ගල් දොළසක් පිහිටෙවුවේ ය. ඒවා අද දක්වා එහි තිබේ. මන්ද මෝසෙස්, යෝෂුවාට අණ කර තිබූ සියල්ල පරිදි, ජනතාවට කියන්නට ස්වාමින්වහන්සේ යෝෂුවාට අණ කර තිබූ හැම දෙයක් ම නිම වන තුරු පූජකයෝ ගිවිසුම් කරඬුව දරාගෙන, යොර්දාන් ගඟ මැද සිටගෙන සිටියහ. ජනතාව, ලහි ලහියේ එතෙර වූහ. සියලු ජනයින් එතෙරවීම නිම වූ විගස ස්වාමින්වහන්සේගේ කරඬුව ද පූජකයෝ ද ජනයා ඉදිරියෙන් මෙතෙර වූහ.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 4:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය