යෝෂුවා 3:7-17

යෝෂුවා 3:7-17 SCV

ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත. දැන් නුඹ, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකයින්ට අණ කරමින්, ‘ඔබ යොර්දාන් ජල තීරයට පැමිණි කල, නො සැලී ගඟේ සිටගන්න’ කියා කියන්නැ” යි පැවසූ සේක. යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “මෙහි එන්න; ඇවිත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. ජීවමාන දෙවියන්වහන්සේ ඔබ අතර සිටින වගත්, කානානිවරුන්, හිත්තිවරුන්, හිවීවරුන්, පෙරිස්සිවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන් හා යෙබූසිවරුන් උන්වහන්සේ නිසැකයෙන් ම ඔබ ඉදිරියෙන් පන්නා දමන වගත් ඔබ දැනගන්නේ මෙලෙසිනි; ඔන්න! මුළු පොළොවේ ස්වාමියාණන්ගේ ගිවිසුම් කරඬුව ඔබට පෙරටුවෙන් යොර්දානයට බසින්නට යයි. දැන්, එක් ගෝත්‍රයකින් එක් මිනිසකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් දොළොස් දෙනකු තෝරා ගන්න. මුළු පොළොවේ ස්වාමියාණන් වන ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන පූජකයින් යොර්දාන් ජලයට පය ගැසූ සැණින්, ඉස්මත්තේ සිට ආ යොර්දාන් ජලය ගැලීමෙන් බෙදී, ඉහළ සිට පහළට ආ ජලය තනි ගොඩක් ව නැගී සිටිනු ඇතැ” යි පැවසී ය. එබැවින් ජනයා යොර්දානයෙන් එතෙර වන්නට කඳවුර හැර ආ කල, ගිවිසුම් කරඬුව උසුලා යන පූජකයෝ ඔවුන්ට පෙරටුවෙන් වූහ. අස්වනු නෙළන මෙම මුළු කාලය පුරාවට යොර්දානය ගං වතුර ගලන තත්වයේ තිබිණි. එහෙත් කරඬුව රැගත් පූජකයින් යොර්දානයට ළඟා වී, ජල තීරුවට පා එබූ සැණින්, ගං ඉස්මත්තේ සිට ආ ජලය ගලා යෑම නැවතිණි. ඒ ජලය සාරෙතාන් කිට්ටුව අදාම් නගරය දක්වා බොහෝ දුරක් කන්දක් මෙන් ගොඩ ගැසිණි. අරාබා මුහුද හෙවත් ලුණු මුහුද දෙසට පහළට ගැලූ ජලය තීන්දුවට ම වෙන් ව ගියේ ය. එබැවින් ජනයා යෙරිකෝවට ඉදිරිපිටින් එතෙර වූහ. මුළු ඉශ්‍රායෙල් ජනයා, මුළු ජාතිය ම, දිය සීරාවෙන් තොර වියළි බිම පිට යොර්දානයෙන් එගොඩ වන අතරේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලා සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද වියළි බිමේ ස්ථිර ව සිටගෙන සිටියහ.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 3:7-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය