යෝෂුවා 24:25-33

යෝෂුවා 24:25-33 SCV

ඒ දවසේ යෝෂුවා ජනතාව උදෙසා ගිවිසුමක් කළේ ය. ෂෙකෙම්හි දී ඔහු ඔවුන්ට නියෝග ද නියමයන් ද ස්ථාපිත කළේ ය. යෝෂුවා මේ දෑ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලිව්වේ ය. ඉන්පසු ඔහු විශාල ගලක් ගෙන, ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය අසල ආලෝන් ගස යට එය පිහිටුවී ය. ඔහු මුළු ජනතාව අමතමින්, “බලන්න, මේ ගල අපට එරෙහි සාක්ෂියක් වනු ඇත. ස්වාමින්වහන්සේ අපට පැවසූ සියලු වචන මේ ගලට ඇසිණි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේට ඔබ වංක වූවොත්, එය ඔබට එරෙහිව සාක්ෂියක් වනු ඇතැ” යි පැවසී ය. අනතුරුව යෝෂුවා, ජනයා ඔවුනොවුන්ගේ උරුම කොටසට පිටත් කර යැවී ය. මේ දේවලට පසු ස්වාමින්වහන්සේගේ සේවක වූ නූන්ගේ පුත්‍ර වූ යෝෂුවා එකසිය දස වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම කොටස වන එප්‍රායිම් කඳු රටේ ගාෂ් කන්දට උතුරින් තිම්නත්-සෙරාහි ඔවුහු, ඔහු භූමදාන කළහ. ඉශ්‍රායෙල්වරු යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ කළ සියල්ල පිළිබඳ අත්දැකීම් ලද ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ස්වාමින්වහන්සේට සේවය කළහ. ඉශ්‍රායෙල් ජනයා විසින් ඊජිප්තුවේ සිට ගෙනෙන ලද යෝසෙප්ගේ ඇටකටු, ෂෙකෙම්හි යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හාමොර්ගේ පුතුන්ගෙන් රිදී කැබලි සියයකට මිල දී ගෙන තිබූ බිම් කැබැල්ලෙහි ඔවුහු භූමදාන කළහ. එබිම යෝසෙප්ගෙන් පැවත එන්නන්ගේ උරුමය බවට පත් විණි. තවද ආරොන්ගේ පුත් එලෙයාසර් ද මිය ගියේ ය; ඔවුහු ඔහු එප්‍රායිම් කඳු රටේ ගිබෙයාහි, එනම් ඔහුගේ පුත් පීනෙහාස්ට වෙන් කර දෙන ලද කොටසේ, භූමදාන කළහ.