යෝෂුවා 23:1-14

යෝෂුවා 23:1-14 SCV

දිගු කලක් ගත වූ පසු, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට, හැම අතින් ම ඔවුන් වටා සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් විවේකය දී තිබියදී, යෝෂුවා මහලු ව බෙහෙවින් වියපත් ව සිටියේ ය. යෝෂුවා ඉශ්‍රායෙල් සියල්ලන්, ඔවුන්ගේ වැඩිහිටියන්, නායකයින්, ඔවුන්ගේ විනිසුරුවන් හා නිලධාරීන් කැඳවා, ඔවුන් අමතමින්, “මම දැන් මහලුයි; හොඳට ම වියපත් වෙලා. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා මේ සියලු ජාතීනට කළ දෑ සියල්ල ඔබ දුටුවා. මන්ද ඔබ උදෙසා සටන් කළේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යි. ඔන්න! යොර්දානයේ පටන් බටහිරින් ඇති මධ්‍යධරණී මුහුද තෙක් ඉතිරි වී සිටි ජාතීන්ගේ දේශය, මා විසින් යටත් කළ ජාතීන්ගේ මුළු දේශය, ඔබේ ගෝත්‍ර වංශවලට උරුමයක් ලෙස මා වෙන් කර දී ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් ඇද දමන සේක. උන්වහන්සේ ඔබේ දසුනින් ඔවුන් පන්නා දමන සේක; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, ඔබ ඔවුන්ගේ දේශය උරුම කර ගනු ඇත. “එබැවින් ඉතා ශක්තිමත් වන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියන ලද සියල්ල පවත්වන්නට හා කරන්නට ප්‍රබල ව සිටින්න. එයින් වමට හෝ දකුණට හෝ ඉවත නො හැරිය යුත්තේ, ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ මිශ්‍ර නො වන පිණිස හා ඔවුන්ගේ දෙවිවරුන්ගේ නමින් යාතිකා කිරීම, දිවිරීම හෝ ඔවුන්ට මෙහෙ කිරීම හෝ ඔවුන්ට වැඳුම් පිදුම් හෝ නො කරන පිණිසයි. එහෙත් මේ දක්වා ඔබ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටතදින් ඇදී-බැඳී සිටින්න. “මන්ද ශ්‍රේෂ්ඨ වූත්, මහ බලවත් වූත් ජාතීන් ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් පන්නා දැමූ සේක; ඔබ ගැන නම්, අද දවස දක්වාත් ඔබට එරෙහිව නැගී සිටින්නට කිසිවකුටත් පුළුවන් වුණේ නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න. “මන්ද ඔබ ඉවත හැරී, ඔබ අතරේ තවමත් රැඳී සිටින මේ ජාතීන්ගෙන් ඉතිරි ව සිටින්නන් සමඟ හාද වී, ඔවුන් සමඟ ආවාහ විවාහ කර ගෙන ඔවුන් සමඟ ආශ්‍රය කරන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ නැති වග සහතික ලෙස දැනගන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් හා උගුලක් ද ඔබේ ඇලපත්වලට කසයක් ද ඔබේ ඇස්වලට කටු ද වනු ඇත. “මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත

යෝෂුවා 23:1-14 සඳහා වීඩියෝව

යෝෂුවා 23:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය