යෝෂුවා 2:12-21

යෝෂුවා 2:12-21 SCV

“එබැවින් දැන් මා ඔබට දැක් වූ කරුණාව පරිද්දෙන් ඔබත් මගේ පියාගේ පවුලේ උදවියට කරුණාව දක්වමින් මගේ පියා හා මව ද මගේ සහෝදරයින් හා සහෝදරියන් ද ඔවුන්ට අයත් සියල්ලන් ද වන අපගේ ජීවිත මරණින් බේරන බවට ස්වාමින්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්න. ඒ සඳහා මට ලකුණකින් සහතික වන්නැ” යි කීවා ය. ඒ මිනිස්සු ඇයට පිළිතුරු දෙමින්, “ඔබේ ජීවිතය වෙනුවට අපේ ජීවිත පා, අප මේ කරන කාර්යය ඔබ හෙළි කරන්නේ නැති නම්, ස්වාමින්වහන්සේ දේශය අපට දෙන කල, අපි ඔබට කාරුණික ව හා විශ්වසනීය ව සලකන්නෙමු” යි ඇයට පැවසූහ. ඇය වාසය කළේ පුර පවුරේ ම ය. ඇගේ නිවස තනා තිබුණේ පවුර මත බැවින් ඈ, කඹයකින් කවුළුවෙන් පිටතට ඔවුන්ට බසින්නට සැලසුවා ය. තවද ඈ ඔවුන් අමතා, “කඳුකරය දෙසට යන්න; නැතහොත් ලුහුබැඳ ගියවුන්ට ඔබ මුණ ගැසේවි. ඔවුන් ආපසු හැරී එන තුරු දවස් තුනක් එහි සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන ඔබට යන්නට පුළුවනැ” යි කීවා ය. ඒ මිනිස්සු ඇය අමතමින්, “ඔබ අපගෙන් ශපථ කරවා ගත් ඔබගේ දිවුරුමෙන් අප නිදහස් වන්නේ මෙසේයි: ඔන්න! දේශයට අප පැමිණෙන කල, මේ රත් පැහැති ලණුපට, ඔබ අපට බසින්නට සැලසූ කවුළුවේ බැඳ තැබිය යුතු ය. ඔබේ පියා හා මව ද ඔබේ සොහොයුරන් හා ඔබේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද ඔබේ නිවසට රැස් කර ගත යුතු ය. යමෙකු ඔබේ නිවසේ දොරෙන් පිටතට, වීදියට ගියහොත් ඔහුගේ ලේ ඔහුගේ හිස පිට වන්නේ ය. එහි වගකීමක් අපට නැත. එහෙත් ඔබ සමඟ නිවසේ සිටින කෙනකුට අත තබනු ලැබුවොත්, ඔහුගේ ලේ අප හිස් පිට වේවා. එහෙත් අපගේ මේ කාර්යය ඔබ හෙළි කළහොත්, අපගෙන් ශපථ කරවා ගත් ඔබගේ මේ දිවුරුමෙන් අප නිදහස් යැ” යි පැවසූහ. එවිට ඈ, “ඔබගේ වචනවලට අනුව එලෙස ම වේවා” යි කීවා ය. එසේ ඈ, ඔවුන් පිටත් කර හැරියා ය. ඔවුහු පිටත් ව ගියහ. ඈ, රත් පැහැති ලණුපට කවුළුවේ ගැට ගැසුවා ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 2:12-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය