යෝෂුවා 2:1-13

යෝෂුවා 2:1-13 SCV

ඉන්පසු නූන්ගේ පුත් යෝෂුවා, ෂිට්ටීම්හි සිට මිනිසුන් දෙදෙනකු ඔත්තුකරුවන් වශයෙන් රහසේ පිටත් කර යවමින්, “යන්න, දේශය නිරීක්ෂණ කරන්න; විශේෂයෙන් ම යෙරිකෝව යැ” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, රාහාබ් නම් වූ වෙසඟනගේ නිවසට පිවිස, එහි නවාතැන් ගත්හ. යෙරිකෝවේ රජුට ඒ වග පවසන ලදී. “අන්න! ඉශ්‍රායෙල් මිනිසුන් දේශය පරීක්ෂා කරන්නට අද රෑ මෙහි ඇවිල්ලා.” එවිට යෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩ යවමින්, “ඔබ වෙත පැමිණ, ඔබේ නිවසට ඇතුල් වූ මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද ඔවුන් ඇවිත් සිටින්නේ මුළු දේශය ම පරීක්ෂා කර බලන්නට යැ” යි දැන්වී ය. එහෙත් එම කාන්තාව ඒ මිනිසුන් දෙදෙනා කැඳවා, ඔවුන් සැඟෙවුවා ය. ඉන්පසු ඈ, “ඔව්, ඒ මිනිසුන් මා වෙත ආවා. ඒත් ඔවුන් කොහේ සිට ආවාදැයි මා දැන සිටියේ නැහැ. ගොම්මන් යාමයේ නගර දොරටු වහන්න කිට්ටු වෙද්දී, ඔවුන් පිටත් ව ගියා. ඔවුන් කොයි අත ගියාදැයි මා දන්නේ නෑ. හනික ඔවුන් ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නට ඔබට හැකි වේවි” යි කීවා ය. එහෙත් ඈ පියස්ස උඩට ඔවුන් ගෙන ගොස්, පියස්ස මත අතුරා තිබූ හණ දඬු යට ඔවුන් සැඟෙවුවා ය. එබැවින් ඒ මිනිස්සු යොර්දාන් දක්වා දිවෙන මගෙහි ගංතොට තෙක් දුරට ඔවුන් ලුහුබැඳ ගියහ. ලුහුබඳින්නන් පිට ව ගිය සැණෙන් දොරටුව වසන ලදී. ඔවුන් නිදාගන්නට පෙර, ඈ, පියස්ස උඩට ඔවුන් වෙත අවුත්, ඒ මිනිසුන් අමතා, “මා දන්නවා, ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇති වග: එනිසා ඔබ ගැන මහත් භීතියක් අප මත පතිත වෙලා. මේ නිසා දේශ වාසී සියල්ලන් භයින් මිලාන වෙලා. මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා. ඒ ඇසූ අපගේ හදවත් දියවී, අප හැම කෙනකුගේ ම ධෛර්යය සිඳී ගොසින්. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉහළ අහසේ ද පහත පොළොවේ ද දෙවියන්වහන්සේ ය. “එබැවින් දැන් මා ඔබට දැක් වූ කරුණාව පරිද්දෙන් ඔබත් මගේ පියාගේ පවුලේ උදවියට කරුණාව දක්වමින් මගේ පියා හා මව ද මගේ සහෝදරයින් හා සහෝදරියන් ද ඔවුන්ට අයත් සියල්ලන් ද වන අපගේ ජීවිත මරණින් බේරන බවට ස්වාමින්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්න. ඒ සඳහා මට ලකුණකින් සහතික වන්නැ” යි කීවා ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 2:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය