යෝෂුවා 18:1-10

යෝෂුවා 18:1-10 SCV

ඉන්පසු සමස්ත ඉශ්‍රායෙල් සමූහයා, ෂීලෝහි දී එක් රැස් වී, හමුවීමේ කූඩාරම එහි පිහිටූහ. දේශය ඔවුන් ඉදිරියේ යටත් ව පැවතිණි. ඒ වන තෙක් ම තමන්ගේ උරුමය වෙන් කර දෙනු නො ලැබූ ඉශ්‍රායෙල් ජනතාව අතරේ ගෝත්‍ර හතක් ඉතිරි ව තිබිණ. එබැවින් යෝෂුවා, ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් දේශයට ගොස්, එය අත්කර ගැනීම අතපසු කරමින්, ඔබ තව කොපමණ කලක් බලා සිටිනවා ද? එක් එක් ගෝත්‍ර වංශයෙන් තුන් දෙනකු බැගින් එවන්න. ඔවුන් පිටත් වී, දේශය මුළුල්ලේ යන පිණිස මම ඔවුන් යවන්නෙමි. ඔවුන්ගේ උරුමයට අදාළ ව ඔවුන් එහි වගතුග ලියා මා වෙත ආ යුතු ය. ඔවුන් දේශය කොටස් හතකට බෙදිය යුතු ය. යූදා දකුණු දෙස තමන්ගේ භූමි ප්‍රදේශයේ දිගට ම සිටිය යුතු ය. යෝසෙප් වංශය උතුරු දෙස තමන්ගේ භූමි ප්‍රදේශයේ දිගට ම සිටිය යුතු ය. ඔබ දේශය කොට්ඨාශ හතකට සලකුණු කර, එහි විස්තර මා වෙත මෙහි ගෙනෙන්න. එවිට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ උදෙසා මම පස ඇට දමන්නෙමි. ලෙවීවරුන්ට ඔබ අතරේ උරුම කොටසක් ලැබෙන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේගේ පූජකත්වය ඔවුන්ගේ ප්‍රවේණියයි. ගාද්, රූබෙන් හා මනස්සේ ගෝත්‍ර අර්ධයට යොර්දානයෙන් එතෙර නැගෙනහිරින් දැනටමත් ඔවුන්ගේ උරුමය ලැබී ඇත. එය ඔවුන්ට දෙන ලද්දේ ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ය.” එබැවින් මිනිස්සු නැගිට, ඔවුන්ගේ ගමන පටන් ගත්හ. දේශයේ විස්තර ලියන්නට පිටත් ව ගියවුන්ට යෝෂුවා උපදෙස් දෙමින්, “දේශය ඉහළටත්, පහළටත් ගොස්, එහි විස්තර ලියා මා වෙත එවන්න. එවිට මම ෂීලෝහි දී ස්වාමින්වහන්සේ අබියස ඔබ උදෙසා පස ඇට දමන්නෙමි” යි පැවසී ය. එබැවින් මිනිසුන් පිටත් ව ගොස්, දේශය පුරා ගමන් කර, නගරයෙන් නගරයට දේශයේ පළාත් හතක විස්තර පොතක ලියා, ෂීලෝ කඳවුරේ සිටි යෝෂුවා වෙත ආපසු ආහ. යෝෂුවා ෂීලෝහි දී ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔවුන් උදෙසා පස ඇට දැම්මේ ය. එහිදී ඔහු දේශය ඉශ්‍රායෙල් ජනයාට ගෝත්‍රවලට අනුව එක් එක් කෙනාගේ කොටස බෙදා දුන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ